(මනෝප්‍රිය ගුණසේකර)

පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් නීති විරෝධී අන්දමින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුමාර කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සමථයට පත් කිරීමේ හැකියාවක් ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් නීති විරෝධී අන්දමින් තමන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුමාර කුලරත්න මහතා ගොනුකොට ඇති රිට් පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිඩර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි මහත්මිය මේ බව දැනුම් දුන්නාය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත පුනාන්දු මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලණි.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුමාර කුලරත්න මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා, පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර ඇත.