පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කඩොලාන වනාන්තර පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වන ගැසට් පත්‍රයට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පරිසර අමාත්‍යාංශයේදී අත්සන් තැබීණි.

රජයේ "තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක්" පරිසර ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක "කඩොලානට දලුලන්න ඉඩදෙන්න" ජාතික වැඩසටහන යටතේ මෙම නව කඩොලාන වනාන්තර රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම් සිදු කෙරේ.

ජුලි 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය නිමිත්තෙන්, "වනස්පති" ජාතික වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

කඩොලාන පරිසර පද්ධතිවල වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, ඒවායේ තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ නිසි භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

මෙවර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට හඳුනාගෙන ඇති කඩොලාන වනාන්තර 08හි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 176.67කි. එම වනාන්තර ලෙස තිල්ලිඅඩිය, සම්මට්ටවාඩිය, මුතලප්පාලි, කුඩාව, කුඹුටු කුලියාව, කරඹේ, කන්දකුලිය සහ මණ්ඩල කුඩාව කඩොලාන වනාන්තර හඳුනාගෙන ඇත.

පසුගිය 2025 වසරේදී ද මෙම ජාතික වැඩසටහන යටතේ පුත්තලම හා හලාවත අඩවි වන කාර්යාලවලට අයත් කඩොලාන වනාන්තර කිහිපයක් රක්ෂිත ලෙස නම් කරමින් හෙක්ටයාර් 67කට ආසන්න භූමි ප්‍රමාණයක් ආරක්ෂාවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 12,500ක් පමණ වන අතර එයින් විශාලතම ප්‍රමාණය පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය හා කලපු ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇත.

එමෙන්ම මෙරටින් කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී ඇති බව පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත.