(අංජුල මහික වීරරත්න)

" ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ" පන්සල නැමැති සීමාවෙන් ඔබ්බට ගොස් සමාජ මෙහෙවර තමන්ගේ ප්‍රධාන වගකීම කරගත් ශ්‍රේෂ්ඨ යතිවරයාණ කෙනෙක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

ගල්බඩ ඤාණිස්සර නාහිමි ආගමික සහ ශාසනික මෙහෙවර ඉටු කළා සේම අසරණ, ආර්ථික අපහසුතා ඇති ජනතාවට මෙන්ම දරුවන්ගේ ජීවිත වලට යෝධ සෙවනැල්ලක් වූ බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව කීවේ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූ ගල්බඩ ඤාණිස්සර නා හිමි අනුස්මරණ " නැණ ඉසුර - 2026" ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි. කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පැවැත්විණි. කොළඹ හුනුපි⁣ටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජි නා හිමියන්ගේ අනුශාසනා පරිදි ගල්බඩ ඤාණිස්සර නා හිමි අනුස්මරණ ශිෂ්‍යත්ව අරමුදල මගින් මෙම උත්සවය සංවිධාන කර තිබිණි.

පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසු දරු දැරියන් 460 දෙනකු වෙනුවෙන් මෙහිදි ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කළ අතර උසස් පෙළ අධ්‍යාපනය අවසන් වනතෙක් මෙම ශිෂ්‍යත්ව දරුවන් වෙත ලබා දීමට නියමිතය.

මොනරාගල, කිරින්ද, පාදුක්ක, මැදගම, රිදීමාලියද්ද, සූරියවැව, අකුරැස්ස, කළුතර සහ තවත් ප්‍රදේශ කිහිපයක සිසුන් මෙහි ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය, පොලිස් සේවා වනිතා ඒකකය සහ ත්‍රිවිධ හමුදා සේවා වනිතා ඒකක මගින් සහය ලබන පවුල්වල සිසුන් ද ශිෂ්‍යත්ව වැඩසටහනේ ප්‍රතිලාභීන් අතර වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපනය, තරුණ සංවර්ධනය සහ ළමා සුබසාධනය උදෙසා ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් ගංගාරාම විහාරස්ථානය මුල් කරගනිමින් කළ මෙහෙවර අපට කිසිදාක අමතක කරන්න බෑ. "නැණ ඉසුර" ශිෂ්‍යත්ව අරමුදල කියන්නේ උන්වහන්සේගේ ඒ මානුෂීය සහ අනාගතවාදී දර්ශනයේ සජීවී ප්‍රතිඵලයක්.

ආර්ථික දුෂ්කරතා තිබුණත් නොසැලී උසස් පෙළ දක්වා ඉදිරියට යන මේ දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න මේ ප්‍රදානයෙන් ලැබෙන්නේ ලොකු පිටුවහලක්. මේ වන විට රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්, නව පුනරුදයක් ඇති කරන්න රජය කැපවෙලා ඉන්නවා. අධ්‍යාපනය කියන්නේ ඕනෑම දරුවෙකුට හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් මිස වරප්‍රසාදයක් නොවිය යුතු බව රජයක් විදිහට අපේ පැහැදිලි දැක්මයි.

රටේ ආර්ථික දුෂ්කරතා මොනවා තිබුණත්, දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය කියන්නේ අනාගතය වෙනුවෙන් කරන හොඳම සහ විශිෂ්ටතම ආයෝජනයයි. අපිට තිබෙන ප්‍රබලම සම්පත මානව සම්පතයි. රජය විදිහට අපි අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වැදගත් පියවර කිහිපයක්ම ගනිමින් ඉන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් විෂය මාලාවන් යාවත්කාලීන කරමින්, දැනට තියෙන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනුවට දරුවාගේ කුසලතා, නිරීක්ෂණ ශක්තිය සහ සිතීමේ හැකියාව වර්ධනය වෙන ප්‍රායෝගික අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන අරමුණක්.

ඒ වගේම, පොතට සීමා නොකර රටට අවශ්‍ය ආකල්ප සහ භාවිතාවන් සහිත අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න අපිට අවශ්‍යයි. ග්‍රාමීය සහ නාගරික පාසල් අතර තියෙන පරතරය අඩු කරන්න ග්‍රාමීය පාසල් වල යටිතල පහසුකම්, ගුරු හිඟය සහ තාක්ෂණික පහසුකම් වර්ධනය කරන්න අපි වැඩි මුදලක් වෙන් කරලා තියෙනවා. රටේ කොතැනක ඉපදුණත් සෑම දරුවකුටම එක සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙන්න ඕන.

අපේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ දරුවෙක් අතරමං නොවී, වෘත්තීය හෝ උසස් අධ්‍යාපනයට යොමුවෙන්න අවශ්‍ය සියලු මාර්ග සහ අවස්ථා පුළුල් කරමින් ඉන්නවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත වෙනුවෙන් ආයෝජනය කරමින් පාසල් දිවා ආහාර වේල, පෙළපොත්, පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා අසරණ පවුල් වල දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් ලබා දෙමින් සිටිනවා.දරුවන්ට අධ්‍යාපනය අතහැර යන්න සිද්ධ වෙන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කරන්න රජය නිරන්තරයෙන් කැපවෙලා ඉන්නවා. නැණ ඉසුර වැඩසටහන මම දකින්නේ රජයේ වැඩ පිලිවෙලට ලැබෙන තවත් වටිනා සහයෝගයක් ලෙසයි.

ගංගාරාම විහාරස්ථානය සහ "නැණ ඉසුර" අරමුදල එකතු වෙලා සිදුකරන මේ සමාජ සේවය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්. අපවත්වී වදාළ පොඩි හාමුදුරුවන්ගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් ආචාර්ය කිරින්දේ අස්සජි නා හිමි කරන ආගමික හා සාමාජයීය මෙහෙවර වෙනුවෙන් රජය විදිහට අපේ ගෞරවය පිරිනැමීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා. මේ සඳහා අවවාද අනුශාසනා ලබා දෙන කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේටත් ශිෂ්‍යත්ව අරමුදලේ භාරකාර මණ්ඩලයටත් ආධාර උපකාර කරන සියලු දෙනාටත් මගේ ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා.

දරුවනි,කොච්චර අභියෝග ආවත් ඔබේ උත්සාහය සහ කැපවීම අතහරින්න එපා. අධ්‍යාපනයෙන් සන්නද්ධව , මේ රට යහපත් මඟකට ගෙනියන, කරුණාවන්ත, ගුණගරුක පුරවැසියන් බවට පත්වෙන්න අධිෂ්ඨාන කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා යැයිද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියෝ මෙසේ කීහ.

මෑත යුගයේ සුවිශේෂී සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් හැටියට අපවත් වී වදාළ ගල්බඩ ඤාණිස්සර නාහිමි අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්.

ශාසනික කටයුතු වලින් පරිබාහිරව ජාතික, සමාජයීය හා සංස්කෘතික කටයුතු වලට උන්වහන්සේ තම ජීවිතයේ වැඩි ඉඩකඩක් ලබා දුන්නා.පිහිට විය යුතු අයට නිරතුරුවම පිහිට වීමටත් උදව් උපකාර කළ යුතු අයට උදව් කිරීමටත් උන්වහන්සේ සහජ උත්පත්තියෙන්ම රැගෙන ආ මානුශීය ගුණය වැඩි දියුණු කළ කෙනෙක් බව කිව යුතුයි. දිවංගත ලලිත් ඇතුළත්මුදලි අධ්‍යාපන අමාත්‍යතුමා අපගේ දායක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස එවකට කටයුතු කළා.එමෙන්ම දේශපාලනයට එන්න පෙරත් එතුමා විහාරස්ථානයේ බොහෝ කටයුතු වලට සක්‍රීයව දායක වුණා.මහපොළ ශිෂ්‍යත්වය පිරිනැමීම සඳහා සැලසුම් සකස් කිරීමට එකල පොඩි හාමුදුරුවන්ගෙන් ලොකු ශක්තියක් ලැබුණා. ඒ උන්වහන්සේ තුළ තිබූ දැක්මයි.රජයකවත් අවධානය නොතිබූ යුගයක පාසල් හැරගිය දරුවන් වෙනුවෙන් උන්වහන්සේ 1978 දී වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කළා.වෘත්තීය පුහුණු අධිකාරිය බිහිවන්නේ 1996 දී.

එමෙන්ම තරුණ දරුවන්ගේ නැගී සිටීම පිළිබඳ උන්වහන්සේට හොඳ කියවීමක් තිබුණා.ඒ අයට අතහිත දෙන්න උන්වහන්සේ හැම විටම ක්‍රියා කළා.උන්වහන්සේගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරුණත් රජය වියදම් කළ මුදල අප රජයට ආපහු ගෙව්වා.දායකයන් සිය කැමැත්තෙන් පිරිනමන ලද මුදල් රජයට ගෙවා ඉතිරි මුදලින් ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවීමට අප තීරණය කළා.

ප්‍රාචීන විභාග ලියන භික්ෂුන් වහන්සේලාට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම උන්වහන්සේ එදා සිට කළා.උන්වහන්සේ ඒ මෙහෙවර කළේ නිහඬව.

පහේ ශිෂ්‍යත්වය සමත් වන හැම දරුවෙක්ම නගරෙට එන්නේ නෑ.එලෙස පහේ ශිෂ්‍යත්වය සමත්ව නගරෙට එන්න හයියක් නැති දක්ෂ දරුවන්ට නැණ ඉසුර ශිෂ්‍යත්වයෙන් ආධාර කෙරෙනවා.ඒ දරුවා සාමාන්‍ය පෙළ ,උසස් පෙළ වයසට එන විට ශිෂ්‍යත්වයෙන් ගෙවන මුදල වැඩි කරලා විශ්ව විද්‍යාල වයස දක්වා ඒ ආධාර පිරිනැමෙනවා.විශ්ව විද්‍යාලයට පැමිණි විට මහපොළ ලැබෙනවා.

එමෙන්ම සංගීතය ,නර්තනය, හෝ ක්‍රීඩා වලින් දක්ෂතා පෙන්වන සිසුන්ට නගරයට පැමිණ දක්ෂතා ඔපමට්ටම් කරගැනීමට ආධාර කිරීමට අප තීරණය කර තිබෙනවා.මේ රටේ සමහර ක්ෂේත්‍ර වල වෘත්තිකයන්ගේ හීනතාවයක් තිබෙනවා.පොල් ගෙඩියක් කඩාගන්න,තේ දළු නෙලාගන්න කෙනෙක් හොයාගන්න නැහැ. ඒ වෙනුවෙන් යමෙක් නව නිර්මාණයක් කරනවා නම් එය ජනගත කිරීමට මේ ශිෂ්‍යත්ව අරමුදලෙන් අවස්ථාව ලබා දෙනවා.පළවෙනි අත් ට්‍රැක්ටරය හදපු රේ විජයවර්ධන අපේ දායක සභාවේ සාමාජිකයෙක්.එතුමා හදපු මුල්ම අත් ට්‍රැක්ටරය අපේ පන්සලේ තාම තිබෙනවා.

ලබන වසර වන විට මේ වගේ තුන් ගුණයකට පමණ ශිෂ්‍යත්ව පිරිනැමීමට අප බලාපොරොත්තු වෙනවා.ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ උදව් උපකාර ලබාගෙන ශක්තිමත් ශිෂ්‍යත්ව අරමුදලක් ගොඩනැඟීමට අප බලාපොරොත්තු වෙනවා යනුවෙන්ද කිරින්දේ අස්සජි නා හිමියෝ කීහ.

වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහා නා හිමි,නියංගොඩ විජිතසිරි සහ දිඹුල්කුඹුරේ විමල ධම්ම මල්වතු අනු නා හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයද බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ගංගාරාම විහාරස්ථ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහත්වරු ද ත්‍රිවිධ හමුදා ප්‍රධානීහු, තානාපතිවරුන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.