(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5 දක්වා අද (22) පහත බැස පැවති බව නුවරඑළිය දිස්ත්‍රික් කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

පොළොව මට්ටමේ සිට අඩි හතරක උසින් මෙම සෙල්සියස් අංශක 3.5ක අගය වාර්තා වී තිබූ බවත්, එය පොළොවේ තෘණ මට්ටමේ දී සෙල්සියස් අංශක සෘණ 1.2 දක්වා පහත වැටී තිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වසරේ නුවරඑළියෙන් වාර්තා වූ අවම උෂ්ණත්වය මෙසේ වාර්තා වී තිබූ බවත්, මේ හේතුවෙන් නුවරඑළියේ බොහෝ ස්ථානවල අලුයම් කාලයේ මල් තුහින පතිත වී පැවැති බව නුවරඑළිය දිස්ත්‍රික් කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ශරිරයට දරා ගැනීමට අපහසු දැඩි සීතලක් පැවති බවත්, එමෙන්ම ජලය අතින් ඇල්ලීමට පවා අපහසු මට්ටමේ පැවති බව නුවරඑළිය වැසියෝ කියති.