(සිසිර නන්දන කැලේගම)

ගල්ගමුව නිතලව වන රක්ෂිතයේ අක්කර දහයක පමණ රූස්ස, බුරුත, වීර, පලු, කොහොඹ ඇතුළු වටිනා ගස් බිම හෙළමින් විශාල වන විනාශයක් කර ඇතැයි වාර්තාවේ.

මේ ගැන මේතාක් කිසිදු බලධාරියකුගේ අවධානය නොකිරීම පිළිබදව ගල්ගමුව, ඇහැටුවැව, ''නිතලව'' ප්‍රදේශවාසීහු විමතිය පළ කරති.

ප්‍රාදේශීය ලේකම් ග්‍රාම සේවා නිලධාරි මෙන්ම වන සංරක්ෂණ නිලධාරීන් හා පොලිසිය ඒ දෙස කිසිදු අවධානයක් යොමු නොකරන බව ද ඔව්හු පෙන්වා දෙති.

ඒ පිළිබදව අපි ගල්ගමුව වනජීවි කාර්යාලයෙන් විමසීමක් කළෙමු.

''සිද්ධිය දැන ගත් සැනණින් වගකිව යුතු අයත් එක්ක එතැනට ගියා. ඒක රජය සතු ඉඩමක්. අක්කර දහයකට ආසන්න ප්‍රමාණයක් එළි පෙහෙළි කරලා තියෙන කතාවත්, බුරුත ඇතුළු වටිනා ගස් කපලා රක්ෂිත විනාශ කරලා තියෙන කතාවත් ඇත්ත. එහෙත් ඉඩමේ නිසි බලධාරියා ප්‍රාදේශීය ලේකම් හින්දා ඒ අය තමයි ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ. ඒ කෙසේ වෙතත් තවදුරටත් කැලෑව කපන්න දෙන්නේ නෑ. අලි කොරිඩෝව වසාගෙන කිසිදු වගාවක් කරන්න මෙහි ඉඩ දෙන්නෙත් නෑ. ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම්වරිය ඇය සතු බලතල ක්‍රියාත්මක කෙරුවා. ඒ සදහා අපේ සහයෝගය ද ලබා දීලා පන්සල් හා ව්‍යාපාරිකයන් මැදිහත්ව අලින්ගේ නිජබිම් විනාශ කරන මේ සංහාරවලට තවදුරටත් මෙහි සිදුවෙන්නට නම් ඉඩ දෙන්නේ නැතැයි එහි නම සදහන් කිරීමට අකැමැති නිලධාරියෙක් පැවැසීය.

සිද්ධිය ගැන ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.එම්.උද්‍යානී වීරසිංහ මහත්මියගෙන් කළ විමසීමෙදී ඇය මෙසේ කීවාය

''අපි මෙම ස්ථානයට ‍වසමේ ග්‍රාම නිලධාරි, ගල්ගමුව වන ජීවි හා වන සංරක්ෂණ නිලධාරීන් මෙන්ම පොලිසිය එක්ක ගිහින් බැලුවා. මහා විනාශයක් වෙලා තියෙනවා කියලා පේනවා. එහෙත් අයිතිකරුවකු හෝ කවුරුත් එතැන හිටියේ නෑ. ඒ හින්දා ඊට සම්බන්ධ තැනැත්තා කැදවලා අපට නොකියා මොන පදනමෙන් ද ඒ වටිනා ගස් කොළන් කපා ඉවත් කරමින් කැලෑව සුද්ධ පවිත්‍ර කෙරුවේ කියලා හොයලා බලනවා. එතෙක් ඒ විනාශය තවදුරටත් එහි සිදු නොවන්නට තහනම් කෙරුවා. එමෙන්ම සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන සිදු වෙනවා.''