(කේ බුද්ධික කුමාරසිරි)

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දීමේ චෝදනාව යටතේ රැදවුම් භාරයේ සිටි සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස (04) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (18) නියෝග කළේය

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ අතුරුගිරිය රතුවිලවත්ත පැරඩයිස් සිටි හි පදිංචිකරුවන් වන සනෝජ් කෝකිල ලියනාරච්චි සහ නදුන් කවීෂ ලියනාරච්චි නමැති සහෝසරයින් දෙදෙනෙකි

බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් නිළධාරීන් දස දෙනෙකු පමණ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අධිකරණයෙහි පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටින ලදී

මෙම අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටිනවාද යන්න මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් විමසා සිටි අතර තමන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටින බව එහිදී අතර සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත පැවසූහ

ඉන් අනතුරුව තමන්ට අධිකරණය වෙත කිසිවක් පැවසීමට අවශ්‍ය දැයි මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් නැවතත් විමසීමක් කරන ලදී

එම අවස්ථාවේදී තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සැකකරුවන් මහේස්ත්‍රාත්වරාට දැනුම් දුන් බැවින් ඒ අනුව මහේස්ත්‍රාත් නිල මැදිරිය තුලදී එම ප්‍රකාශය ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කරන ලදී