(අංජුල මහික වීරරත්න)

දිවයිනේ ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් වෙරළාසන්න මුහුදු තීරයේ කාලගුණික තත්ත්වය රළු විය හැකි බැවින් ධීවර කටයුතු වල නිරත වීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.

සියලුම ධීවරයින් ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳීම අනිවාර්ය බවද ඔහු කියයි.

අද (13) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තා අනුව, දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-35 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කහවත්ත මහතා පැවැසීය.

පුත්තලම, හලාවත සිට ගාල්ල, මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.