(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ එච්.ඒ.එස්.නන්දන) 

හංවැල්ල වනහාගොඩ උත්සව ශාලාවක් ඉදිරිපිට මාර්ගයේ ධාවනය වූ ත්‍රී රෝද රථයක් පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව හංවැල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි දේව ගැතිවරයෙකු බව පොලිසිය කියයි.

මෙම දේව ගැතිවරයා තවත් පුද්ගලයෙකු සමඟ හයිලේවල් මාර්ගය ඔස්සේ අවිස්සාවේල්ල දෙසට  ත්‍රී රෝද රථයක් පදවාගෙන යමින් සිටියදී එක් වරම විරුද්ධ මන්තීරුවට ධාවනය වී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.

එහිදී ත්‍රී රෝද රථයේ හැඩලය දේව ගැතිවරයාගේ පපු පෙදෙස පසාරු කරගෙන ගොස් තිබු අතර බරපතල තත්ත්වයේ පසු වු දේව ගැතිවරයා සහ අනිත් පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දේව ගැතිවරයා මියගොස් තිබූ අතර බරපතල තත්ත්වයේ පසු අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.