(ටී.කේ.ජී.කපිල)

රුපියල් තිස් පන් කෝටි විසිහය ලක්ෂ පනස් දහසක් වටිනා " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , සමග කැනඩාවේ , ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ , හෙද පුහුණු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යාවක ඊයේ (23) රාත්‍රීයේ  අත්අඩංගුවට ගත් බව කටුනායක  රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි.‍

සැකකාරිය 18 හැවිරිදි කැනඩාවේ , ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ , හෙද පුහුණු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යාවකි .

ඇයට සිය අධ්‍යාපන කටයුතු සදහා යොදා ගැනීමට කැනේඩියානු ඩොලර් 12,500 ක් සහ විදේශ සංචාරයක් ලබා දීමේ පොරොන්දුව මත , එම විශ්ව විද්‍යාලයයේ රියැදුරුවරයකු , මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සදහා ඇය වෙත භාර දී තිබේ .

ඇය මෙම " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් රැගෙන , ඩුබායි වෙත පැමිණ , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රියාත්මක Meet and Great විශේෂ පහසුකම යටතේ ඇයගේ ගමන් මලු , ගමන් මලු පථයෙන් රැගෙන , ගුවන් තොටුපොළ සේවිකාවන්ගේ මග පෙන්වීම යටතේ , ගුවන් තොටුපොළ " හරිත මාවත '' ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කර තිබේ .