(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ක්‍රිකට් ක්‍රීඩාංගන තුනකට  එල්ඊඩී තිර තුනක් ගෙන්වීමේදී ලොකු තීරුබදු වංචාවක් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන්  ඉල්ලා සිටින බවත්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(1) පැවසීය.

මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසු   තිර ගෙන්වූ ආයතන තුන එම තිර ක්‍රීඩාංගනවලින්  ගලවා ගෙන යෑමට උත්සාහ දරමින් සිටින බවද  ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාංගන තුනකට එල්.ඊ. ඩී තිර තුනක් මිලදී ගෙන තියෙනවා. පල්ලෙකැලේ ක්‍රීඩාංගනය, දඹුල්ල ක්‍රීඩාංගනය, සහ  කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට තමයි ඇනවුම් කරල තියෙන්නෙ. අඩි හැටයි තිහේ එල්ලීඩී තිර තුනක්. මේ තිර තුන  සම්බන්ධයෙන් වංචනික ක්‍රියා දාමයන් තුනක් තියෙනවා. පළමුවැනි ක්‍රියාදාමය තමයි, ටෙන්ඩරය  විවෘත කරල තියෙන්නෙ 2023 ජුලි මාසයේ 14 වෙනිදා. හැබැයි ඊට ඉස්සෙල්ලා 13 වැනිදා සල්ලිවලින් කොටසක් ගෙවල තියෙනවා. ඩොලර් 29000ක්.