(එස් ඩී කොඩිකාර)

දෙණියාය නාථගල මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක්  මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ යට  මාර්ගයටම වැටී සිදු වූ අනතුරකින්  කාන්තාවක් මිය ගොස් රියදුරු ඇතුළු  දෙදෙනකු තුවාල ලබා දෙණියාය මූලික රෝහලට  ඇතුළත් කර ඇතැයි දෙණියාය පොලීසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ බෙවරලිය ,නාථගල අඹගස්තැන්න ප්‍රදේශයේ පුද්ගලික තේ ඉඩමක දළු නෙලීම සදහා ගොස් නැවත එමින් සිටි කන්දසාමි චන්ද්‍රා නැමති (47) හැවිරිදි දෙණියාය වත්ත පහළ කොටස, ඕලකන්ද ,දෙණියාය ලිපිනයේ පදිංචි විවාහක කාන්තාවක් බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

මිය ගිය කාන්තාව සුව සැරිය ගිලන්රථයෙන් දෙණියාය මූලික රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් තිබු බව පොලීසිය කියයි .

සෙසු තුවාල කරුවන් වූ රථයේ රියදුරු සහ පිටුපස ගමන් ගත් අනෙක් දෙදෙනා වැඩි දුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

දෙණියාය නාථගල මාර්ගය ඉතා පටු අධික බෑවුම් සහිත මාර්ගයක් වන අතර අනතුර සිදු වන අවස්ථාවේ එම ප්‍රදේශයට වර්ෂාපතනයද පතිත වෙමින් පැවති බව ප්‍රදේශවාසීන් පවසයි.