(රෝෂන් තුෂාර)

දකුණු පළාත් සභාව වෙන්දේසි කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීප් රථය අසාදු ලේඛනයෙන් ඉවත් කරදීමට රුපියල් අසූදහසක අල්ලසක් ඉල්ලා රුපියල් 10000 මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් කළමනාකාර සහකාරවරයා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (04) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පෙරේදා (03)දින අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ දර්ශන පිරිස් නැමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

දකුණු පළාත් සභාව වෙන්දේසි කරන ලද මෝටර් රථය ලියාපදිංචි කිරීමට නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට ගිය පැමිණිලිකරුට තම ජීප් රථය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අසාදු ලේඛනයට ඇතුලත් කර ඇති බව මෝටර් රථ කාර්යාංශය දැනුම් දී ඇත.

ජීප් රථය අසාද ලේඛනයෙන් ඉවත් කරවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිය පැමිණිලිකරුට සැකකරු මුණගැසී ඇති බවත්,අසාදු ලේඛනයෙන් ඉවත් කරදීමට අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.