
(අංජුල මහික වීරරත්න)
තමාට ලැබෙන ජනතාවගේ ආදරය සහ ලෙංගතුකම නැමති වරප්‍රසාදය කිසිවකුට අහිමි කිරීමට හැකියාවක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ සිට තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසයි.
ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳින් හුරු පුරුදු බවද හිටපු ජනාධිපතිවරයා එම සටහනේ සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කියයි.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගිය 10 වන බදාදා දින පාර්ලිමේන්තුහි දී සම්මත කිරීමත් සමඟ බලාත්මක වූ නව නෛතික තත්ත්වයට ගරු කරමින් ඊයේ දින එනම් 11 වන බ්‍රහස්පතින්දා දින පස්වරුවේ, මා වෙත මෙතෙක් නීත්‍යානුකූලව ලබා දී තිබු විජේරාම නිල නිවසින් ඉවත් වූයෙමි.
මින් පෙර ඇතමුන් විසින් විජේරාම නිල නිවසින් පිටව යන ලෙස මාධ්‍ය ඉදිරියේ සිදු කරන ලද විවිධ විධානයන් මම දුටුවෙමි. ජනතාව වෙනුවෙන් කිසිවක් කළ නොහැකිව ඉතා කෙටි කාලයක් තුළ දිනෙන් දින ජනතා අප්‍රසාදයට ලක්වන පිරිසක් තම නොහැකියාව වසා ගැනීමට මාධ්‍ය ඉදිරියේ සිදු කළ එම ප්‍රකාශයන්ට අවනත වීමේ අවශ්‍යතාවයක් මට නොතිබුණි. එහෙත් පසුව ඔවුන් විසින්ම නව නීති සම්මත කිරීමත් සමඟ පැය 24 ක කාලයක් ඇතුළත මම විජේරාම නිවසට සමු දුනිමි. ඒ අප නීතියට ගරු කළ යුතු නිසාවෙනි. මහින්ද රාජපක්ෂ වන මා හිස නමන්නේ නීතිය ඉදිරියේ සහ මගේ ජනතාව හමුවේ පමණි.
පෞද්ගලික පළිගැනීම් ඉලක්ක කරගත්, විනයක් මෙන්ම වෘත්තීමය භාවයක් රහිත දේශපාලනික ත්‍රස්තවාදයකට අප සැමට මුහුණ දීමට සිදුව ඇත. එමෙන්ම, කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම නිසාම ඊට ආනුෂංගිකව පැනනැඟී ඇති සිද්ධි දාමයක ඉලක්කය බවට මා පත්ව ඇත. එහෙත් ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව කිසි දිනක මා පසුතැවිලි වන්නේ නැත. මා යුද වැදුනේ මේ මාතෘ භූමිය තුළ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය වෙනුවෙනි. හුස්ම අප සැමට පොදුය. ජාති ආගම් භේද නැත. අපගේ හුස්ම වෙනුවෙන් තම හුස්ම අහිමි කර ගත්තේ රණවිරු දරුවන්ය. ඔවුන් විසින් දිනා දුන් අභිමානවත් ජාතියක නිදහස සංකේතවත් කිරීමට සහ එයට කෘතගුණ සැළකීමට අප සැම එක්ව අනුරාධපුර පූජා නගරයෙහි සඳ හිරු සෑය නිර්මාණය කළෙමි. සඳ හිරු පවතින තෙක් අප මාතෘ භූමිය එකම රටක් ලෙස, එකම ධජයක් යටතේ පවතීවා යන්න එයින් නිරූපණය වේ.
මාගේ වැඩිමහල් පුතු නාමල් කියූ ලෙසින්ම සියල්ල ආරම්භ වූ මගේ ගම් ප්‍රදේශයට නැවත පැමිණ සිටිමි. පැමිණියේ ද අප විසින්ම ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන්මය. ගමේ ඇඹුල් තියල් මාලුවක රස විඳීමට දැන් මට හැකියාව ඇත. ඒවා කොළඹ ගෙන යෑමේ අවශ්‍යතාවයක් ද නැත. කෙසේ වෙතත් සියල්ල ආරම්භ වූයේ මේ භූමියෙනි. මහින්ද රාජපක්ෂ නම් තරුණයා 1970 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කළේ ගිරුවායෙනි. එයට අවස්ථාව ලබා දුන්නේ බණ්ඩාරනායක මැතිණියයි. ඇය තරුණ මන්ත්‍රීවරයෙකු හැටියට මා ගමන් කළ යුතු මාර්ගය පෙන්වා දුන්නාය. ඇය අපට නායිකාවක් මෙන්ම මාතාවක් වුවාය කිවහොත් එය නිවැරදිය. දේශපාලනය තුළ නිවැරදි මඟ පෙන්වීම ඉතා වැදගත්ය. රටේ පීඩිත මහජනතාව සමාජවාදය වෙත යොමු කළ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පසුපස රුහුණු මහජන මන්ත්‍රීවරයාව සිටි දිවංගත මාගේ ආදරණීය පියාණන් සැමවිටම දක්නට ලැබුණි. මාගේ පියා නියෝජනය කළේ රුහුණේ බෙලිඅත්තේ මහජනතාවගේ අපේක්ෂාවන්ය. ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් 1970 ජනතා රජයේ ප්‍රථම රාජාසන කථාවට ස්තුති යෝජනාව සිදු කරනු ලැබුවේ මා විසිනි. එහිදී රුහුණේ බෙලි අත්තේ මහජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳ කථා කළා මට මතකය. අඳුරු කාල පරිච්ඡේදයන්හි පැවති දේශපාලන මර්දන සහ පළිගැනීම් පිටුදකිමින් අතුරුදහන් වූවන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගියේ ද මේ මහින්ද රාජපක්ෂමය. අතුරුදහන් වීම්, මානව හිමිකම් උල්ලංඝනය වීම් වෙනුවෙන් පෙනී සිටිමින් නීති ආධාර ලබා දුන් ස්ථානයෙහි ලිපිනය වූයේ “නීතීඥ මහින්ද රාජපක්ෂ, සභාපති - මානව හිමිකම් හා නීති ආධාර කේන්ද්‍රය, කාල්ටන්, තංගල්ල” යන්න බව නැවතත් මාගේ සහෝදරයන්ට සිහිපත් කරමි.
පාද යාත්‍රා, ජන ඝෝෂා, මිනිස් දම්වැල් වැනි ආණ්ඩු විරෝධී අරගලයන් ජනතාවගේ යහපත උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයන් ඔස්සේ කළ සැබෑ ජන අරගලයන්ට උදාහරණය. තම දේශපාලනික පීඩනයන් හා ආතතීන් මඟ හරවා ගැනීම සඳහා කිසිවෙකුට ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර විය නොහැක. අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් ප්‍රධාන විපක්ෂ මතවාදීන් මර්දනය කිරීමට ගන්නා උත්සහය කණගාටුදායකය.
ජනතාව අප කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු අධිකය. එම බලාපොරොත්තු දැඩිකම නිසාම පසුගිය කාලය තුළ යම් යම් සිද්ධීන්ට මුහුණ දීමට සිදුවුණි. මහින්ද රාජපක්ෂ තීරණ ගත්තේ සිතට එකඟව රට වෙනුවෙනි. ජනතාවගේ ආදරය සහ ලෙංගතුකම තරම් වටිනා දෙයක් මා හට නොමැත. අතීතයේ ලද ජනතා ආදරයම අද ද ඒ අයුරින්ම ලැබීම මා ලද වරප්‍රසාදයයි. එම වරප්‍රසාදය අහිමි කිරීමට කිසිවෙකුට නොහැක. අපගේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගෙන් සැමදා එක ලෙස මා ලද ආශිර්වාදය භෞතික වරප්‍රසාද ඉක්මවා යන්නකි. මාගේ ආදරණීය බිරිඳ ශිරන්ති දේශපාලනයේ නිරත වීමට අවැසි මානසින නිදහස ලබාදෙමින් සැමදා මා හට ශක්තියක් වූවාය. එදත් අදත් මා අසලින්ම සිටි සහ සිටින ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රමුඛ මාගේ ආරක්ෂක නිල දරුවන්ගෙන් ලැබෙන ආරක්ෂාව රැකියාවට එහාගිය අතිශය ආදරණීය බැඳීමකි. විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමය. මහින්ද රාජපක්ෂට මේවන විට මුක්කු ගැසීමට අවශ්‍ය බවට සිදු කළ ප්‍රකාශයක් මා හට දැනගැනීමට ලැබිණි. පෞද්ගලිකව මා ඉලක්ක කර ගැනීම පිළිබඳ ප්‍රතිචාර නොදක්වමි. එහෙත් මා ජීවත්ව සිටින තෙක්, අප සැම ජීවත්වන කෙදිනක හෝ මිහිදන් වන සිංහ ධජය සෙවනේ පවතින මෙම ඒකීය මාතෘ භූමියට කුමන හෝ අයෙකු ද්‍රෝහි වුවහොත් කෙතරම් පීඩා මධ්‍යයේ වුවද මා නැඟී සිටින බව ප්‍රකාශ කරමි. එදිනට අවශ්‍ය වුවහොත් මුක්කු ගසා උර දීමට මේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආදරණීය ජනතාව සිටින බව මම හොඳින් දනිමි. ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳින් හුරු පුරුදුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරය අන්ධයි.... දිට්ට ධර්ම වේදනීය කර්මය...
බයියෝ තව ටික දෙනෙක් තමයි ඉතුරු වෙලා ඉන්නේ... ඔබලාගේ වහල් සේවයේ යෙදෙන්න.
මහින්ද චින්තනය 1,2, ,තාරුණ්‍යයට හෙටක් ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය කියලා බොරුවෙන් ජනතාව රවට්ටපු ,පව්ලේ අයව කිට්ටු කරගෙන, මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු , ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු, ,අරගලයෙන් ජනතාව පන්නලා හැන්ගිලා හිටපු ජනාදිපතිව බලන්ඩ ආවා වෙන්නත් බැරි නැහැ...
එතුමා රටට ලොකු සේවයක් කරපු මනුස්සයෙක්. ඒ නිසා මෙහෙම පන්නා දැමීම වැරැදියි. ඕනෑම ශ්‍රේෂ්ඨ නායකයෙක්ගේ දුර්වලකම් තියෙනවා. ගැමුණු මහා රජතුමා දුටුගැමුණු කියලා හඳුන්වන්නේ ඔවැනි දුර්වලකම් නිසා. නමුත් අවතක්සේරු කරන්න හොඳ නැහැ.
උදුරාගන්න කාටවත් බෑ, හැබැයි නැතිකරගන්නේ තමන්ම තමයි.
දෙකයි පනහට බැස්සේ ප්‍රසාදේ වැඩි කමට තමයි.
බෙල්ලෙන් අල්ලලා එලියට දැමීමත් කටේ සවුදම අඩු වෙලා නැහැ වගෙයි, ජනතාවගේ ආදරය දෝරේ ගැලුව නිසා තමයි හෙලිකොප්ටර්යෙන් ගිහිල්ලා ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරේ හැංගෙන්න සිද්ධ උනේ ! තවත් ජෝකර් නොවි කට පියාගෙන ඉන්නවද ?
ජනතාවගේ ආදරය ඡන්ද ප්‍රතිඵල වලින් පෙනේවා...
කාටහරි හෙන්චයියෙකුට කියලා ලියවපු එකක්. මහින්දයාට ඔය වගේ දෙයක් ලියාගන්ඩ බැහැ. බොරුව,රැව්ටිලි, කපටිකයිරාටිකකම්. ගේම් ගැහිලි, ජඩකම්, හොරකම්, වන්චා , දූෂණ වගේ වැඩ නම් පුලුවන් කියලා ක්‍රියාවෙන්ම පෙන්නලා තියෙනවා.
ඒක ඔයා කියන්න ඕන නැහැ, අනුර කුමාර සහෝදරයා එය හොදින් ඔප්පු කරමින් පවතිනවා...
මට නම් දකින කොටත්. කේන්තියි. ඔය තරම් ජනතාවගේ ආදරේ ලැබුණානම් පරදින්න හේතුව මයින් පැටියත් ආවේ ජාතික ලයිස්තුවෙන්. තමුන්ට ඔය කියන තරම් කට්ටිය දකිද්දී පැරදුනේ කොහොමද? ජනතාවගේ අගේ තේරෙන්න පැරැදිලා. හිටපු තැනටම යන්න වෙනවා. ජනතාව බලන් ඉන්නේ දැන්මැරෙනකම් ඉතුරු බරත් අඩුයි. මයිනි ගොඩක් ඇඩුවානේද? බලහත් කාරයෙන් හදාගත් කූඩුව නැති වුණු එකට...
තඹුත්තේගම එළාර රජුගේ සේනාව කලබල වෙලා මෙතුමාට තිබෙන ජනප්‍රසාදය දැකලා
තව ටිකක් විදවලා යන්න තමයි තියෙන්නේ... අනුර ආවේ නැතිනම් මිනිස්සු මේවා දන්නෙත් නැහැ.
තඩි හොරෙක්...
ඔව් ඔව් තවපාරක් ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වෙයි නේද?
ජනතා ආදරය තාම තියනවද කියලා සැකයක් මතු වෙනවා දාන කමෙන්ට්ස් බැලුවාම....