(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සිය වසර හතරක සේවා කාලය අවසන් කරමින් එළැඹෙන 16 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

චන්ග් මහත්මිය 2022 වසරේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු තානාපතිවරිය ලෙස රාජකාරී කටයුතු ආරම්භ කළ බවත් ඇයගේ ධුර කාලය සන්ධිස්ථාන කීපයකින් සමන්විත බවත් තානාපති කාර්යාලය පැවැසුවේය.

එම සන්ධිස්ථාන අතරට ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹා වසර 75 ක් සැපිරීම, ෆුල්බ්‍රයිට් සංස්කෘතික හා දැනුම හුවමාරු වැඩසටහනේ 80 වන සංවත්සරය සැමරීම, ඇමෙරිකාවේ පීස් කෝප් නියෝජිතායතනයේ ස්වේච්ඡා සේවකයන් මෙරටට නැවත පැමිණීම සහ තානාපති කාර්යාලය නව පරිශ්‍රයක් වෙත ගෙන යාම අයත්වන බවද තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

තානාපතිනිය යටතේ මෙරට ආර්ථිකය නගා සිටුවීම සඳහා වැදගත් මුලපිරීම් රාශියක් ආරම්භ වූ බවත් එයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණය ණය මුදල් පහසුකමක් මෙරටට ලබාගැනීමට ලබාදුන් සහායත්, ඇමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙරට ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ලබාදුන් සහායත්, දිට්වා සුළි කුණාටුවෙන් මෙරට පීඩාවට ජනතාව ලබාදුන් සහායත් අයත් වන බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවැසුවේය.