(සුජිත් හේවාජුලිගේ)
ගැබිනි මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම සඳහා එන්නත් සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවැසීය
මෙම එන්නත් සතිය ලබන 23 වැනිදා සිට 31 වැනිදා දක්වා ක්‍රියාත්මකවන බව පැවැසූ විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සියලූ විධිවිධාන යොදා ඇතැයිද ප්‍රකාශ කළේය.
ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය මාසයේදී අනුමැතිය ලබා දුන්නේය.
මෙරට ගැබිනි මවුවරුන් තුන් ලක්ෂ තිස් දහසක් පමණ සිටින බවත් ඉන් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් තවමත් එන්නත ලබාගෙන නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
ගැබිනි මව්වරුන්ගේ දරුගැබට කොවිඩ් මර්දන එන්නතෙන් කිසිදු හානිකර තත්වයක් ඇති නොවන බව වෛද්‍ය පරීක්ෂණ මගින් සනාථවී ඇතැයිද මොඩර්නා , ෆයිසර් සහ සයිනොපාම් යන එන්නත් ගැබිනි මවුවරුන්ට සුදුසු බවට සෞඛ්‍ය අංශ දැනටමත් නිර්දේශ කර ඇති බවත් සනත් ලැනරෝල් මහතා පැවසුවේය.
සෞඛ්‍ය අංශ සඳහන් කරන අන්දමට කොවිඩ් තුන්වෙනි රැල්ලේ දී මියගොස් ඇති ගැබිනි මවුවරුන් සංඛ්‍යාව 20කි.
ඉන් බහුතරයක් එන්නත් මාත්‍රා දෙකෙන් එකක් හෝ ලබා නොගත් අය බව තහවුරු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ගත්ත ගැබිනි මව්වරුන්ට විසඳුමක් නැද්ද?