(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ දුම්රියක පළමු පන්තියේ වායු සමීකරණය කළ නිදන මැදිරියක් "මධුසමය ගත කිරීම සඳහා සුදුසු සුඛෝපභෝගී කාමරයක්" ලෙස පරිවර්තනය කළ යුවළක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතා බහක් නිර්මාණය වී ඇත.

එම නිදන මැදිරියේ වීඩියෝ සහ ඡායාරූප විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එයට හොඳ මෙන්ම විවේචනාත්මක ප්‍රතිචාරද ලැබී තිබේ. ජල්නා සිට මුම්බායි දක්වා ධාවනය වන 'නන්දිග්‍රාම් එක්ස්ප්‍රස්' ශීඝ්‍රගාමී දුම්රියේ පළමු පන්තියේ වායු සමීකරණය කළ නිදන මැදිරියක් මෙලෙස මධුසමය ගතකරන කාමරයක් ලෙස පරිවර්තනය කර ඇත.

කෙසේ නමුත් මෙම යුවළ වෙනුවෙන් නිදන මැදිරිය සැරසූ ආයතනය ඒ සඳහා අවසර ලබාගෙන නොතිබීම හේතුවෙන් එවැන්නකට ඉඩදුන් ටිකට්පත් පරික්ෂා කිරීමේ නිලධාරියාව මේ වනවිට රැකියාවෙන් ඉවත්කර තිබේ.

නිදන මැදිරියක් මධුසමය ගතකරන කාමරයක් ලෙස පරිවර්තනය කර ඇති ප්‍රථම අවස්ථාව මෙය වන අතර සමාජ මාධ්‍ය පරිශීලකයන් එයට උපහාසාත්මක ලෙස සටහන් තබා තිබිණි.

ඇතැම් පරිශීලකයන් ප්‍රශ්න කර තිබුණේ දුම්රියේ මධුසමය ගත කිරීමට හැකිද යන්නයි. තවත් අය ප්‍රකාශ කර තිබුණේ දුමිරියේ නම "සුහාග් රාත් එක්ස්ප්‍රස්" ලෙස වෙනස් විය යුතුය යන්නයි.