(රෝෂන් තුෂාර)

ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ  සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දේශපාලන හිතවතුන් 15දෙනෙකු  නාමිකව බඳවාගෙන රජයට රුපියල් ලක්ෂ අසූවක්    පාඩු කළේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  ඇතුළු  සැකකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් පවරමින් අධි චෝදනා ගොනුකළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (16) පැවසීය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය පුද්ගලික ලේකම්ව සිටි ඒ මහතාගේ පුත් රමිත් ලක්සෙන් බණ්ඩාර රඹුක්වැල්ල , දියණිය අමාළී නායනිකා රඹුක්වැල්ල හා නිවසේ සේවිකාව වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා සැකකරුවන්ට මෙසේ අධි චෝදනා ගොනු කළ බවත්,එම නඩු තුන 20, 29 සහ පෙබරවාරි 13  මහාධිකරණය හමුවේ කැඳවීමට දින නියම කර ඇති බවත්  අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය.

මේ අනුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු කටයුතු අවසන් කරන බවත්,විමර්ශන ගුණව බහා තබන ලෙසත් අල්ලස් කොමිසම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රබුක්වැල්ල මහතා හැර සෙසු සැකකරුවන් අධිකරණය පෙනී සිටි අතර රඹුක්කල් මහතා සෞඛ්‍ය හේතුන් මත පෙනී නොසිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ,මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිලි බහා තබන ලෙස නියෝග කරමින් සැකකරුවන්ට අදාළ දිනයන්හිදී මහාධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිටියේය.