(අංජුල මහික වීරරත්න)

පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැගෙනහිර හෝ කවර ප්‍රදේශයකවත් කිසිදු අන්දමකින් ජාතිවාදයට යළි ඉඩ නොතබන  බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය. 

යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය තම පාලන කාලයේ විසඳන බවද  ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500ක් ඉදිකිරීම ඇතුළුව රට පුරා නව නිවාස 31,218 ක් ඉදිකිරීමේ ‘තමන්ගෙම තැනක්-ලස්සන ජීවිතයක්’ ජාතික නිවාස වැඩසටහන 2026 සමාරම්භක අවස්ථාවට අද (16)  චාවකච්චේරිය, මීසාලේ, වීරසිංහ ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී එක් වෙමිනි. 

මෙහිදී  යුද්ධයෙන් අවතැන් වූ යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 800ක් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 20ක් ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 03  බැගින් වූ චෙක්පත් ප්‍රදානය සිදු කෙරුණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරු පළාත පුළුල් සංවර්ධනයකට ගෙන එමින් එහි ජන ජීවිතය ඉහළට ඔසවා තැබීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය ක්‍රියාත්මක කර තිබෙන බවයි.