(ඉන්දිකා රාමනායක)

මුහුදු මගින්  නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබු  වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී  අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

 
සැකකරුවන් සමග ඩිංගි යාත්‍රා දෙකක් ද නාවික හමුදා බාරයට ගෙන ඇත.
 
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ  (18) නොරොච්චෝලේ දළුව වෙරළ තීරයේ සිදු කළවිශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රා දෙකක් තුළ සඟවා මෙරටට ගෙන රැගෙන විත් තිබු කහ කිලෝ 700 ට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බවද නාවික හමුදාව පවසයි.
 
 උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයන් පිරිසක් මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී වෙරළට ගොඩගසා තිබූ ගෝනි මළු දෙකක තිබී  තෙත බර සහිත කහ කැබලි  කිලෝග්‍රෑම් 107 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ගෙන ඇත.
 
කිසියම්  පිරිසක් මුහුදු මගින් මෙම සහ රැගෙනවිත් වෙරළේ සගවන්නට ඇති බව නාවික හමුදාව සැකකරයි.
 
නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන ප්‍රදේශයන්හීදී නාවික හමුදා භාරයට ගන්නා ලද   සැකකරුවන් සහ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු සහ යාපනය රේගු කාර්යාලයන් වෙත බාර දී ඇත.
 
නාවික හමුදාව විසින් පසුගිය සති තුනක (03) කාලය තුළ  අවස්ථා කිහිපයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ  වියලි කහ කිලෝ 8245 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

(ඡායාරූප - රොමේෂ් මධුෂංක)