(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර නගරයේ දී සිම්පත් අලෙවි නියෝජිතයෙගේ පාදයකට මන්නයකින් පහර දී රුපියල් ලක්ෂ එකහමාරකට අධික වටිනාකමකින් යුත් සිම්පත්, මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑම, බණ්ඩාරගම පෞද්ගලික බැංකුවක ATM කුටිය අසලට කඩා වැදී පුද්ගලයකුට මන්නා පහරවල් පහක් එල්ලකර රුපියල් ලක්ෂ එකහමාරක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම සිදුකර පලාගොස් සිටී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැව්රිදි  හිටපු සෙබළෙකු සහ 18 හැව්රිදි ඔහුගේ ගෝලයා බවද පොලිසිය කීය.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ අයිස් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය තිබූ බවද පොලිසිය කීය.

සැකකරුවන් ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අපරාධ සිදුකිරීමට යොදාගත් මන්නා පිහි දෙක, බණ්ඩාරගම නගරයෙන් කොල්ලකෑ යතුරුපැදිය සහ සොයාගත් බවත් හිටපු යුද හමුදා සෙබළා සන්තකයේ තිබී විදෙස් රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බවත් වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.

සැකකරුවන් දෙදෙනා පසුගිය කාලසීමාවේ කළුතර සහ පානදුර ප්‍රදේශවල මන්නා පහරවල් එල්ල කරමින් කොල්ල කෑම් සහ මහ මග ගමන් ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම ඇතුළු අපරාධ රැසක තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි.