(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකිකයන්  ලක්ෂ දහයක පමණ  පිරිසක්  මැද පෙරදිග රැකියාවල නියුක්තව සිටින බවත්   කරදරයට අවදානමට ලක්ව    සිටින ජනතාව ගෙන්වා ගැනීම සදහා  ගුවන් යානා යොමු කිරීමට මැදිහත් වෙමින් සිටින බවත්  විදේශ අමාත්‍ය  විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවැසීය

එ් සම්බන්ධයෙන් ගුවන් සමාගම්  සමඟ  සාකච්ඡා කරන බවද ඔහු කීය

විජිත හේරත් මහතා මෙසේද කීය

මැද පෙරදිග ගැටුම්කාරී තත්වය වේගයෙන් උත්සන්න වීම ගැන ශ්‍රී ලංකා රජය කනස්සල්ල පළ කරනවා. මේ තත්වය  කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර සාමයට  සහ ආරක්ෂාවට බරපතළ තර්ජනයක්.  තත්වය සමනය කිරීම සඳහා උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙසත් ගැටුම්කාරී තත්වයට ක්ෂණික හා තීරණාත්මක පියවර ගන්නා ලෙසත්  ශ්‍රී ලංකාව මෙයට සම්බන්ධ සියලු පාර්ශව වලින් ඉල්ලීමක් කරනවා.බරපතළ මානුෂිය ආර්ථික බලපෑම් සහිත  පුළුල් කලාපීය ගැටුමක අවදානම වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන් තවදුරටත් ප්‍රකෝපකාරී පියවරයන්ගෙන් වැළකී සිටිය යුතුයි. ඒක තමයි අපේ ස්ථාවරය.

යුදමය  තත්වය වළක්වා ගැනීම සඳහා සාකච්ඡාමය පියවරකට ගමන් කිරීම අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධයෙන් අප විවිධ රාජ්‍යයන් සමඟ සාකච්ඡා කරලා තියෙනවා. ඊයේ  රාත්‍රියේත් ජනාධිපතිතුමා එක්සත් අරබි එමීර් රාජ්‍යයේ  නායකයා සමග දුරකථනයෙන් සාකච්ඡා කළා. අද හවසත් රාජ්‍ය නායකයන් සහ විදේශ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග දුරකථනයෙන් සාකච්ඡා කරනවා.  ලෝක සාමය වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වෙනවා.

ශ්‍රී ලාංකිකයන්  ලක්ෂ දහයක පිරිසක්  මැද පෙරදිග රැකියාවල නියුක්තව සිටිනවා. කුවේට්වල 322427ක් සෞදි වල 242593ක්  කටාර්වල  203182  ක්  එක්සත් අරාබි එමී රාජ්‍යයේ 170468ක්  ඕමාන් හි 36812ක්  ඊශ්‍රායලයේ 27472ක්  ජෝර්දාන් හි 24182ක්   බහරේන්  14374ක්   ලෙබනනයේ  7925 ක් ඉරාකයේ  641ක්  යේමනයේ  16ක්  සිරියා හතක්  ඉරානයේ දහයයක් ඉන්නවා.  ගුවන්තොටුපොළවල් කිහිපයක් දැන් විවෘත කරලා තියෙනවා.  ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරනවා. ඉක්මනින්  ගුවන් යානා යොමු කිරීමට මැදිහත් වෙමින් සිටිනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම අපේ තෙල් ආනයනයට බාධාවක් නෑ. අපිට තෙල් එන්නේ වෙන පැත්තකින්. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන්  පොදුවේ තෙල් සැපයුමට බාධා වෙන බව ඇත්ත. යුද්ධය දිගටම ගියොත් තෙල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්. දැනට ප්‍රශ්නයක් නැහැ. මේක අනපේක්ෂිත තත්වයක්. රටේ සියලුම තානාපති කාර්යාලවල ආරක්ෂාව  තහවුරැ කර තිබෙනවා.