(ඉන්දිකා  රාමනායක)
දෙමටගොඩ ලක්හිරු  සෙවන මහල් නිවාසයේ  කාන්තාවක් තියුණු ආයුධ වලින් කපා කොටා  බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා දෙමටගෙඩ මෙත්සර උයන මහල් නිවාස  සංකීර්ණයේ සැඟව සිටියදි     අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක් හා හොරොයින් මිලිග්‍රෑම් 480 ක ප්‍රමාණයක් තිබී තිබු බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල්කරගෙන ඉකුත් මැයි මස 10 දින සැකකරුවන් පිරිසක් ලක්හිරු මහල් නිවාස  යෝජනයා ක්‍රමයේ නිවසක් තුළට කාන්තාවක් බලහත් කාරයෙක් ඇදගෙන ගොස් ඇයට තියුණු ආයුධ වලින් පහර දී බරපතල තුවාල සිදුකර  තිබුණි.

 ප්‍රහාරය එල්ල කර  පලායමින් සිටි සැකකරුවන් දෙදෙනකු   එම මහල් නිවාස යෝජනා ක්‍රමය අසල  පැවති  මාර්ග බාධකයකදි දෙමටගොඩ පොලිස් කණ්ඩායමක් විසින් එදිනම  අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිද්ධියට   තොරතරතු ලබා දී කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි (23) හැවිරිදි  තරුණයින් බවත්, ඔවුන් දෙදෙනා   අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වයි.