(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර ගත කාන්තාවන්ට හිංසා කිරීම, පහරදීම, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලමින් ‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී සාරෝජා පෝල්රාජ් මහත්මිය වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත. 

නිදහසේ කාන්තාවෝ සංවිධානයේ කැඳවුම්කරු සුවන්ති වීරසේකර මහත්මිය විසින් යොමු කර ඇති ලිපි මගින් දැක්වෙන්නේ මීගමු බන්ධනාගාරයේ රෝගී තත්වයට පත් රැඳවියන්ට ප්‍රතිකාර කරන ලෙස ඉල්ලා විරෝධාතාවයේ නිරත වූ කාන්තා රැඳවියන්ගෙන් බහුතරය මේ වන විට පල්ලේකැලේ  බන්ධනාගාර වෙත යොමු කර ඇති බවයි.

මෙම රැඳවියන් හමුවීමට ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට පමණක් නොව නීතිඥවරුන්ට ද මේ වන විට අවස්ථාවක් නොලැබෙන බවත් මෙය ඔවුන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බවත් නිදහසේ කාන්තාවෝ සංවිධානය කියයි.

මෙය කාන්තා සිරකරුවන් සහ ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා පැනවූ ජාත්‍යන්තර නීති මාලාව වන බැංකොක් රීති  උල්ලංඝනය කිරීමක් බව ද එම ලිපියේ දැක්වේ. 

පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවරියන් කාන්තා රැඳවියන් සහ ඔවුන්ගේ කුඩා දරුවන් රඳවා සිටින බන්ධනාගාර වෙත ගොස් ඔවුන් මුහුණ දෙමින් සිටින පීඩා, හිංසන නැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙස ද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මැදිහත්වන ලෙස ද ‘නිදහසේ කාන්තාවෝ සංවිධානය’ ඉල්ලා සිටී.