(අංජුල මහික වීරරත්න)

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ මාලදිවයින් ජන රජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ මාලදිවයින් ජන රජයේ ජාතික ආරක්ෂක බලකාය අතර අවබෝධතා ගිවිසුමක් වසර 5 ක කාල සීමාවක් සඳහා 2012 වසරේ දී අත්සන් තබා ඇති අතර, 2018 වසරේ දී එම ගිවිසුම අලුත් කරනු ලැබ ඇත. 

එකී ගිවිසුමේ වලංගු කාලය 2023 වසරේ අවසන් වීමෙන් පසුව දෙපාර්ශ්වය අතර පවත්වනු ලැබ ඇති සාකච්ඡා මත පදනම්ව, පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම, කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඒකාබද්ධ පර්යේෂණ හා අධ්‍යයන ක්‍රියාකාරකම් සංවිධානය කිරීම, ශාස්ත්‍රීය,ප්‍රකාශන හා වෙනත් තොරතුරු හුවමාරු කර ගැනීම සහ සංස්කෘතික හා මලල ක්‍රීඩා හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී අරමුණු සහිතව සංශෝධිත නව ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එකඟතාවට පැමිණ තිබේ. ඒ අනුව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ මාලදිවයින් ජන රජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.