(පැතුම් දර්ශන සහ ඉන්දිකා රාමනායක)

කහටගස්දිගිලිය ඊතල්වැටුනවැව ප්‍රදේශයේ කුඹුරකට ජලය හැරවිමට ගිය කාන්තාවකගේ හිසට පුද්ගලයෙකු විසින් ඊයෙ (03) රාත්‍රී හතට පමණ උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය කියයි.

මෙම පහරදීමෙන් කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ ඊතල්වැටුනවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචි ජමාල්දීන් රහුමත් උම්මා යන පනස් හැවිරිදි විවාහක කාන්තාවකි.

කුඹුරට ජලය හැරවිමට ගොස් සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය කියයි. 

උදැල්ලෙන් පහරදී ඇත්තේ මියගිය  කාන්තාවගේ  සොයුරාගේ දියණිය විවහ වී සිටින ස්වාමිපුරුෂයා බවත් ඔහු ඊතල්වැටුනවැව ප්‍රදේශයේම පදිංචි තිස් එක් හැවිරිදි පෙදරේරුවෙකු බවත් පොලිසිය කියයි.

ඝාතනය සිදුකළ සැකකරු සිද්ධියෙන් පසු ඊයෙ (03) රාත්‍රියේම කහටගස්දිගිලිය පොලීසියට භාරවී ඇති අතර ඔහු අද(04) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මියගිය කාන්තාවගේ සිරුර අද (04) උදැසන වන විටත් සිද්ධිය වූ ස්ථානයේ තිබුණ අතර ස්ථානීය මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණි. 

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්.අබේසේකර මහතාගේ උපදෙස් මත කහටගස්දිගිලිය පොලීසිය ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබයි.