
(රෝෂන් තුෂාර)
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකරු ජුනි මස 16 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය.
මාර්ටින් වික්‍රමසිංහ පදනම කළ පැමිණිල්ලක් අනුව කෞතුක භාණ්ඩය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ කෞතුක භාණ්ඩය මාර්ටින් වික්‍රමසිංහ පදනමට මුදා හරින ලෙසට නියෝග කළාය .
වීදුරු කුටියක බහාලු අදාල කෞතුක භාණ්ඩය අධිකරණයට ඉදිරිපත් කළ කුරුදු වත්ත පොලිසිය සඳහන් කර සිටියේ කෞතුක භාණ්ඩය නුගේගොඩ ප්‍රදේශයේ පරණ බඩු මිලදී ගන්නාත් ස්ථානයක තිබී අත්අඩංගුවට ගත් බවය.
කොළඹ 07 කලාසන් පෙදෙසේ අංක 08 දරණ ස්ථානයේ පිහිටි මෙම නිවස මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා සහ බිරිඳ ජීවත් ව සිටි නිවස බවත්,මාර්ටින් වික්‍රමසිංහ පදනම මගින් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවත් සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් මස එම නිවසේ ආරක්ෂකයා නොමැති අවස්ථාවකදී නාරාහෙන්පිට පදිංචි ජය කුමාර් දුශාන්තන් නැමැති සැකකරු විසින් මෙම භාණ්ඩ සොරාගෙන ඇති බවත්,සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයකු වන අතර රුපියල් හත්දහසකට නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවිකර තිබියදී සොයාගත් බවත් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය.
සැකකරු මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පුද්ගලයකු හෙයින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියේය.
COMMENTS
මත්ද්‍රව්‍ය ,පාතාලය ඇති වීමට බලපාන පවුල් පසුුබිම් සමාජ වෙනස්කම් ,දේශපාලන ක්‍රියාකාරකම් ද තිබිය හැක.එසේ නම් ඒ පිළිබඳවත් වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුයි .කවුරු කළත් කාට කළත් මිනිස් ජීවිත අපරාදෙ .....