(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී තීරණය වූ බව ද ඇය සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අගෝස්තු 05 බදාදා හැර අන්  සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අගෝස්තු 04 අගහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සහ විගණකාධිපතිගේ වැටුප නිශ්චය කිරීම, පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ. 

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා වෙන් කර ඇත.

අගෝස්තු 05 බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.  පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව  11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා ඔස්ට්‍රේලියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.

අගෝස්තු 06 බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) සහ සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ (මෙම පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභායෝගයට ලක් නොවුවහොත්) දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  ඇත.

අගෝස්තු 07 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නම

කන්දසාමි ප්‍රභූ මහතාකිරි නිෂ්පාදන අංශයෙන් ස්වයංපෝෂිත්වය ප්‍රවර්ධනය කිරීම

හෙක්ටර් අප්පුහාමි මහතා කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට වැඩසටහනක් සකස් කිරීම

එම්.එස්. උදුමාලෙබ්බේ මහතා මඩකලපුව සිට පොතුවිල් දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම හෝ මාතර සිට කල්මුණේ දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම

ඉම්රාන් මහරූෆ් මහතාකොරෝනා වසංගතය පැවති කාලය තුළ, ඒකපාර්ශ්විකව හා බලහත්කාරයෙන් මුස්ලිම් ජනතාවගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවීම

දයාසිරි ජයසේකර මහතාරසායන ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම

සුසන්ත කුමාර නවරත්න මහතා ශ්‍රී ලංකාවේ වන සතුන් කළමනාකරණය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රමවේදයක් සකස් කිරීම

ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා සංවර්ධනයේ කලාපීය විෂමතා අවම කිරීම සඳහා වෙන් වූ විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවීම

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  ඇත.