(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 77 වන සම්මේලනය සංවිධානය කිරීම වෙනුවෙන් 14 දෙනකුගෙන් යුතු කළමනාකරණ කමිටුවක් පිහිටුවීමට පක්ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩලය  තීන්දු කර තිබේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් සතියේ  පැවැති අවස්ථාවේදී මෙම තීන්දුවට එළැඹ ඇත.

මෙම කමිටුව පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත  රංගේ බණ්ඩාර, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් වන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානයක්කාර, කරුණාසේන කොඩිතුවක්කු, නීතීඥ දයා පැල්පොල, රවී කරුණානායක, ක්‍රිෂාන් තියඩෝර්, නීතිඥ සුමුදු කැකුලන්දර, කිත්සිරි මංචනායක, හා මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පත් කර තිබේ.

පක්ෂ සංවත්සරය සහ සම්මේලනය සැප්තැම්බර් 10 වැනි දින පවත්වන ස්ථානය සහ සංවිධාන කටයුතු සම්බන්ධයෙන්  මෙම කමිටුව විසින් තීන්දු කරන බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.