(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය ආරම්භවීමත් සමග ප්‍රථම වතාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉරානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය මාධ්‍ය අද (08) වාර්තා කළේය.

ඉරානයේ ජලයෙන් ලවණ ඉවත්කරන කර්මාන්තශාලාවකට එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙලෙස ප්‍රහාර එල්ල කර ඇතැයි එම වාර්තාවල සඳහන් වේ.

එසේම ඉරානයේ නව උත්තරීතර නායකයා විශේෂඥ සභාව තෝරාගත් බව එහි සාමාජිකයන් කීපදෙනෙකු ඉරාන මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණත් තෝරාගත උත්තරීතර නායකයාගේ නම් ඔවුන් ප්‍රසිද්ධ කර නොතිබිණි.

ඒ සමග ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඉරාන නව උත්තරීතර නායකයා සිය හමුදාවේ ඉලක්කයක් වනු ඇති බවයි.

යුද්ධය අවසන් කිරීමට නම් ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට ජනපති ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉරාන ජනපති මසූද් පෙසේෂ්කියාන් ප්‍රතික්ෂේප කර තිබූ අතර ඔහු පවසා සිටියේ ඉරානය කොන්දේසි විරහිතව ඇමෙරිකාවට යටත් වීම ජනපති ට්‍රම්ප්ට සිහිනයක් පමණක් වනු ඇති බවයි. කෙසේ නමුත් ඉරානය සිය අසල්වැසි රටවලින් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව සමාව ඉල්ලා සිටින බවද පෙසෙෂ්කියාන් පැවැසුවේය.

ඇමෙරිකාව යම් රටක සිට ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් එම රටට පමණක් මින් ඉදිරියට ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නව වැනි දිනටත් ඊශ්‍රායලය ඉරානයට දරුණු ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඊයේ(08) ඉරාන තෙල් ගබඩා පහසුකම් ඊශ්‍රායල ගුවන් හමුදාවේ ඉලක්කය වී තිබිණි. එසේම සමාව ඉල්ලා පැය කීපයකට පසුව නැවතත් ඉරානය ගල්ෆ් කලාපයේ රටවල් කීපයකට ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළේය.

ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධයෙන් මේ වනවිට ඉරානයේ 1,332ක් ඊශ්‍රායලයේ 11ක්, ඇමෙරිකානු හමුදා සාමාජිකයන් 6ක් සහ ගල්ෆ් කලාපයේ රටවල වැසියන් 11ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.