(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගය (2026) ලබන අගෝස්තු මස 10 වැනිදා අනිවාර්යෙන්ම ආරම්භ වන බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් තබාගතයුතු නැති බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා අද (24) පවසීය.

නාලක කලුවැව මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

අගෝස්තු මස 10 වැනිදා උදාවීමට තවත් මාසයකට ආසන්න කාලයක් පමණක් තිබීම නිසා විභාගය පැවැත්වෙන්නේද කල්යන්නේද යන දෙගිඩියාවක් ඇතිවන්නේ යැයි පෙනී යන බවත් ඒ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිල ස්ථාවරය පසුගිය ඉරිදා නිර්නායක කීපයක් පදනම් කරගනිමින් නිකුත් කළ බවත් ඒ මහතා කීය.

අපොස උසස් පෙළ විභාගයේ දින නියම කිරීමේදී සළකා බලන ප්‍රධානම නිර්නායකය අපොස උසස් පෙළ පංති නිල වශයෙන් ආරම්භ කළ පසු උසස් පෙළ විභාගය දක්වා වන දක්වා කාලය තුළ පාසල් පැවැත්වෙන දින ගණන බවත් එම සාධකය සැළකිල්ලට ගෙන මෙම දිනය නියම කළ බවත් කලුවැව මහතා පැවසීය.

2026 අගෝස්තු මස 10 වැනි දින 2026 අපොස උසස් පෙළ විභාගය ආරම්භ කරන බව 2025 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා පාසල් නිල කාලසටහන නිකුත් කළ දිනයේ පළමුවෙන්ම ප්‍රකාශයට පත්කළ බව කී කලුවැව මහතා ඉන් පසුව විභාග දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 15 වැනිදා වන විට විභාග කාලසටහන ද නිකුත් කළ බව ද සඳහන් කළේය.

අගෝස්තු මස 10 වැනිදා විභාගය පැවැත්වීමට ගත් තීරණය හදිසියේ ගත් තීරණයක් නොව සියලුම කරුණු සළකාබලා ගත් තීරණයක් බවත් අගෝස්තු මස 10 වැනිදා වන විට පාසල් පැවැවෙන දින සංඛ්‍යාව 343 ක් බවත් ඒ මහතා කීය.

උසස් පෙළ විෂය නිර්දේශය අවසන් කිරීමට යෝජිත දින සංඛ්‍යාව දින 300 ක් හෝ කාලපරිඡ්ජේද 600 ක් යන පදනම මත සිට මෙය විභාග දින තීරණය කළ බවත් දෙවැනි වර පෙනී සිටින දරුවන්ට විභාග ප්‍රතිඵල නිකුත් කළ මාර්තු 31 වැනිදා දින සිට මාස 4 ක් සහ දින 10 කිලයක් ලැබී තිබීම නිසා කිසිඳු දරුවෙක්ට විශේෂ අසාධාරණයක් කර නොමැති බවත් නාලක කලුවැව මහතා වැඩි දුරටත් සඳහන් කළේය.