(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අපොස උසස් පෙළ විභාගය කල් තබන දිනය විභාග කොමසාරිස්වරයා විසින් හෙට (4) හෝ අනිද්දා (5)  ප්‍රකාශයට පත් කෙරෙනු  ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  මහතා පාර්ලිමේන්තුවේදී අද (3)  පැවසීය

විභාග දිනය නියම කිරීම ඇමතිවරයාගේ කාර්යභාරය නොවන බව පැවසූ ප්‍රේමජයන්ත මහතා තමා එවැන්නක් කළ හොත්   නෛතික ප්‍රශ්න මතුවිය හැකි බවද සඳහන් කළේය.

කාල සටහන සමග දිනය  නිකුත් කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී උදයන  කිරිඳිගොඩ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සාධාරණ කාලයකින් විභාගය ප්‍රමාද කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට කලින් ප්‍රකාශ කළ බවත් මේ වනවිට දින 12ක් ගතවී ඇතත් දිනය ප්‍රකාශ කර නොමැති බවත්  ඔහු චෝදනා කළේය.

මේ නිසා දරුවන් පීඩනයට පත්ව සිටින බවද  කිරිදිගොඩ මහතා කීවේය. මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ තමා මේ කාරණය සම්බන්ධයෙන් සංවේදී ව සිටින බවයි.