(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයේ කර්ග් දූපතට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බවත් එහි ජනතාව වරායන් අසලින් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත්විය යුතු බවත් ඉරාන හමුදාව අද අනතුරු ඇඟවූවේය.

ඇමෙරිකානු හමුදා කඳවුරු තිබෙන ස්ථාන වලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාව ඉවත්විය යුතු බවත් නිසැකවම ඇමෙරිකාව කර්ග් දූපතට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් එම අනතුරු ඇඟවීමේ සඳහන් විණි.

එම අනතුරු ඇඟවීම සිදුකර පැය කීපයකට පසුව ඉරාන හමුදාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබූ අතර ඉන් ඩුබායිහි මරීනා සහ අල් සුෆුහ් ප්‍රදේශවල විශාල පිපිරීම් සිදුව තිබිණි.

එසේම අද එල්ල කළ ඉරාන ප්‍රහාරවලින් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ මෙහෙයුම් නතර කිරීමට එරට බලධාරීන් කටයුතු කළේය.

ප්‍රහාරවලින් එම පර්යන්තයේ ගින්නක් හටගෙන තිබීම මෙහෙයුම් නතර කිරීමට හේතුව වී ඇත. කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළටද ඩ්‍රෝන ප්‍රහාර කීපයක් එල්ල වී තිබිණි.

යුද්ධය ආරම්භයේ සිට වැඩිම ප්‍රහාර ප්‍රමාණයක් ඉරානය එල්ල කළ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර මිසයිල සහ ඩ්‍රෝන 1800 පමණ ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කර ඇත. ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයාට ඩ්‍රෝන 1600ක්, බැලස්ටික් මිසයිල 294ක් සහ කෲස් මිසයිල 15ක් එල්ල කර ඇති අතර ඉන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 6 ක් මියගොස් තවත් 141 ක් තුවාල ලබා තිබේ.