ඉරානය සමග ඇතිකරගත් ගැටුම සති 4 කින් නිමා කිරීමට හැකිවනු ඇතැයි තම හමුදා විශ්ලේෂකයන් සහ බුද්ධි අංශ සාමාජිකයන් ඇස්තමේන්තුගත කළත්, යුදමය තත්ත්වය ඊට වඩා කාලයක් දිග්ගැස්සෙනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පැවැසීය.

ට්‍රම්ප් මේ බව පැවැසුවේ ධවල මන්දිරයේ පැවැති විශේෂ උත්සවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ට්‍රම්ප් ඉරාන ගැටුම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙයයි. ට්‍රම්ප් මීට පෙර ඉරාන ගැටුම ගැන අදහස් දැක්වූයේ ඔහුගේ ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම හරහා වීඩියෝ දසුන් පළ කරමිණි.

තමන් (ඇමෙරිකාව) ඉරානයට පහර දෙන්නේ, ඊශ්‍රායලයේ සැලැසුමකට අනුව බව ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද අවධාරණය කර ඇත.

ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, පරමාණු බෝම්බ නිපදවන බවට ඇමෙරිකාව චෝදනා නගයි. තමන් ඊශ්‍රායලය සමග එක් වී ඉරානයට පහර දුන්නේ ඉරානයේ ඉස්ලාමීය රජය අඩපණ කිරීමට, හමුදාව දුර්වල කිරීමට සහ කිසිදු දවසක ඉරානයට න්‍යෂ්ටික අවි නිපදවීමට ඉඩ ලබා නොදීමට යැයි ද පැවැසෙයි.