(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පද්මා කුමාරි)
 
ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස බෝට්ටු යාත්‍රා ආධාරයෙන් තීරු බදු රහිතව ගෙනෙවිත් තිබූ ලක්ෂ 50ට ආසන්න වටිනාකමකින් යුත් කහ තොගයක් කල්පිටිය, පල්ලිවාසල්තුරේ, ප්‍රදේශයේ සඟවා තිබියදී කල්පිටිය පොලීසිය අද (13 ) අලුයම අත්අඩංගුවට ගෙනතිබේ.
 
ඉතා සූක්ෂම ලෙස පොහොර උරවල ඇසුරුම්කර ප්‍රවාහනය සදහා වෙරළ තීරයේ ගබඩා කර තිබියදී පොලීසිය සොයාගෙන තිබේ. කහ කැබලි සහිත උර 29 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, කිලෝ 1500ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව නැති අතර, සැකකරුවන් සොයා මේ වනවිට කල්පිටිය පොලිසිය පුළුල් විමර්ශණ ආරම්භ කර ඇත.
 
අත්අඩංගුවට ගත් කහ තොගය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි වටිනාකම තක්සේරු කිරීම සදහා රේගු වාර්තාවක් කැදවීමට නියමිතය.

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)

(ඡායාරූප - පද්මා කුමාරි)