(ඩයනා උදයංගනී)
සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් තමා ඉවත් කෙරුණේ බලාපොරොත්තු නොවූ මොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
තමාට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය ලබා දී ඇති බව දිවුරුම්දීමේ අවස්ථාවට යන තුරුම දැන නොසිටි බවත්, ජීවිතේ හැමදේම සතුටින් භාරගත යුතු බවත් කී අමාත්‍යවරිය හැමදේම වෙන්නේ හොඳට කියා හිත හදාගන්නවා හැර වෙන කරන්නට දෙයක් නැතැයි ද සඳහන් කළාය.
සෞඛ්‍ය අමාත්‍යධූරය අහිමිවීම ගැන තමාට දුකක් තිබෙන බව කී අමාත්‍යවරිය මේ වන විට ඉලක්කගත ප්‍රජාවෙන් සියයට 54කට එන්නත ලබාදී ඇති නිසා තව සති හතරකින් රට බේරාගත හැකි බව ද කීවාය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ සිය සමුගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (16) පැවති කෙටි උත්සවය අමතමිනි.
එහිදී අමාත්‍යවරිය මෙසේ ද කීවාය.
“එකපාරට මේ වෙනස වෙයි කියලා මම හිතුවේ නෑ. මම ඒත් යන්න ඉස්සෙල්ලා අමාත්‍යාංශ වෙනසක් වෙයිද දන්නෑ කියලා මම අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාටත් කිව්වා. ඒත් කවුරුත් කිව්වේ එහෙම වෙන්නේ නෑ කියලයි. මේ කාලය තුළ ඔබතුමන්ලා මට හදවතින් ලබාදුන් සහයෝගයට ස්තුතිවන්ත වෙනවා. අපි එක කණ්ඩායමක් ලෙස වැඩ කළා. පැවරුණු ඉලක්කය ජයගන්න අපි උත්සාහ කළා. මට ලේකම්තුමා ඇතුළු සියලු දෙනාගෙන් සියයට ලක්‍ෂ වාරයක් අවශ්‍ය සහයෝගය ලැබුණා.
මම කී කිසි දෙයක් කවුරුත් නොකර හිටියේ නැහැ. ඒ නිසා අමාත්‍යාංශය ගෙනියන්න මට අපහසු වුණේ නැහැ. මම මේ අමාත්‍යාංශයට එනකොට අනේ මේ ගෑණි චුතවෙලා ගියානම් කියලා කවුරුවත් හිතුවා යැයි මම විශ්වාස කරන්නේ නෑ.
ඒත් බලාපොරොත්තු නොවූ මොහොතක මට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය භාරදීලා තිබුණා. මං එතනට යනකම්ම ඇත්තටම මේ මාරුවීම සිද්ධවෙනවා කියලා දැනන් හිටියෙත් නෑ. කොහොම වුණත් ජීවිතේ හැමදේම සතුටින් භාරගන්න ඕනේ.
අටුවා කතාවක මෙහෙම තියෙනවා. රජ්ජුරුවොයි පුරෝහිතයයි ගමනක් යනකොට රජ්ජුරුවො මුවෙකුට දුන්නෙන් විද්දලු. ඒත් කවදාවත් ඉලක්කෙ වරදින්නේ නැති එතුමාට ඉලක්කෙ වැරදුණාලු. රජතුමා වැරදුණාම පුරෝහිතයගෙන් ඇයි මට මෙහෙම වුණේ කියලා ඇහුවලු. එවිට පුරෝහිත ස්වාමීනි, වෙන්නේ හොඳට කියලා කිව්වලු. තව ටිකක් දුර යනකොට තවත් මුවෙකුට විදලා ඉලක්කෙ වැරදුණාම ඒක් වෙන්නේ හොඳට කියලා පුරෝහිත කිව්වලු. තවත් දුර යද්දී රජ්ජුරුවන්ගේම කඩුවෙන් එයාගේ ඇඟිල්ල කැපිලා පුරුකක් වෙන් වුණාලු. ඇයි මෙහෙම වෙන්නේ පුරෝහිත කියලා ඇහුවාම ස්වාමීනි ඕක කැපුනෙත් හොඳට කියලා කිව්වලු. ඉතින් රජ්ජුරුවන්ට කේන්ති ගිය පාර අර පුරෝහිතයව වළකට දාලා රජ්ජුරුවෝ යන්න තියෙන පාරේ යන්නේ නැතුව අනික් පැත්තට ගියාලු.
ඒ යද්දී ගෝත්‍රික කණ්ඩායමකට අහුවුණාලු. ඒ කට්ටිය බිලි පූජාවකට මනුස්සයෙක් හොයමින් සිටි පිරිසක්. ඔවුන් රජතුමා අරගෙන ගිහින් හොඳට නාවලා බිලි පූජාවට ගෙනිච්චා ලු. බිලි පූජාව දෙන්න හදනකොට සම්පූර්ණ මනුස්සයෙකුයි බිලි පූජාවට ඕනේ මෙයාගෙ ඇඟිල්ලේ කෑල්ලක් නෑ කියලා රජතුමාව අතහැරියලු. ඒ ගමන රජ්ජුරුවෝ මට පුරෝහිතයා කියපු එක ලොකු දෙයක් නේ. මේ වෙන්නේ හොඳට කියලා කිව්වා නේ.මම පුරෝහිතයා වළට දාපු එක අපරාදෙ. මගේ ජීවිතේ බේරුනේ ඇත්තටම ඇඟිල්ලේ කෑල්ලක් කැපිච්ච හින්දා නේ කියලා කල්පනා කළා ලු. රජ්ජුරුවෝ ආපහු බොහොම වෙහෙස අමාරුවෙන් අර වළ හොයාගෙන ගිහිල්ලා පුරෝහිතයව ගොඩ අරගෙන සමාවෙන්න මට කියා කිව්වාලු.
එවිට පුරෝහිතයා රජතුමනි මාව වළට දාපු එක ගැනත් ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා.මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත්වෙන්නේ කියලා කිව්වාලු. ඉතින් ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපිත් හිත හදාගමු. වෙන කරන්න දෙයක් නෑ. මට ඇත්තටම යම් දුකක් තියෙනවා. මේ හැමෝම එක්ක මම සතුටින් පිරියෙන් වැඩ කළා. කවුරුත් මට හිතින් හෝ මුවින් බැණ බැණ ගියා කියලා මම හිතන්නේ නැහැ.
අපි ගතකළේ ඉතා දුෂ්කර කාලයක්. මම ඔබෙන් ඉල්ලන්නේ. අලුත් ඇමතිතුමාටත් සහයෝගය ලබාදෙන්න. මම තවමත් කියන්නේ අපිට තව සති 4ක වගේ කාලයක් අපිට තියෙන්නේ. දැනට අපි සියයට 54කට අපි එන්නත් දීලා තියෙන්නේ. තව සති 4කින් මේ සියලු දෙනා දෙවන මාත්‍රාවත් ලබාගෙන අවසන් වන නිසා අපිට මේ රට බේරගන්න පුළුවන්.” යැයි ද අමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ඉතිහාසයේ සෞඛ්‍ය අංශයට මහා දැවැන්ත සේවාවක් සිදුකළ කාන්තාවක් වශයෙන් රන් අකුරෙන් ලියැවෙනවා ඇත..
ඔබතුමියට ඇමතිකම මාරු වුණාම අනිත්‍ය මෙනෙහි වෙනවා. ජීවිත 6000 ක් ඉක්මවා බිලිපූජා දෙනකොට අනිත්‍ය මෙනෙහි වුනේ නෑ නේ ද? දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ..
ඔව්, මෙයා තමා පැණිය බීලා හොඳටම කළේ.. අපිට කලින් වැක්සීන් දීපු රටවල් ඇමරිකාව, ඊශ්‍රායලය.. අද කොහොමද..? ආයෙමත් වැඩිවෙනවා. වැක්සීන් හොඳයි. මරණ අවධානම අඩුකරන්න.. වෛරසය පාලනය කරන්න දූපත් රටක් වන අපිට මීට වඩා හොඳ වැඩපිළිවෙළක් අවශ්‍යයි.
අර කතාවක් තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා... ඒක තමයි මේ වුණේ. බලන් ඉන්නකෝ... තේරෙයි.
සැප සම්පත් හා තනතුරු, වරප්‍රසාද දාලා යන්නේ කොහොමද දෙයියනේ...!!! සෞඛ්‍යයට කෙසේ වෙතත්, ප්‍රවාහනය සඳහා මෙතුමිය සුදුසු බව හැඟේ...
මොන ප්‍රශ්න තිබුණත්, ඔබ වෙහෙස වී කටයුතු කළ බව රටම දන්නවා. නිර්භීත කථාවට කාන්තාවක ලෙස ආඩම්බරයි...
තව සති 4ක් ඉන්නේ කොහොමද? කියන එකනේ ප්‍රශ්නේ. අනික අලුත් ඇමතිත් තවත් එක වැඩ බැරි දාසයෙක් විතරයි. හැට හුටාහමාරක් ඇමතිලා හිටියාට රටට ආදායම ගේන වැඩපිළිවෙලක් කවුරු ගාවවත් නෑ.
ගණන් ගන්න එපා මැඩම්... අර මල්ටි විහිළුව අපේ මිනිස්සුන්ට ටිකක් අමතක වෙනකල් ඔහොම ටිකක් ඉන්න.
ඉතාලි අගමැතිතුමාත් ඔහුට කෝවිඩ් හරි හටි පාලනය කරගත නොහැකි නිසා අයින් වුණා.. කොහොම වුණත් බල තණ්හාව කියන්නේ ඕකට.. ඔබතුමියන්ලා දැන් දේශපාලනයට සමුදීමට කාලය හරි... ඒක තේරුම් ගන්න...
මේ විදිහට ඔලුවේ කැක්කුම කියලා කොට්ටය මාරු කරන එකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ ඇඟිලි පුරුකක් නොවේ බෙල්ල මුලින්ම කැපිලා යන එකයි.
මේවා මේ අයගේ නාට්‍ය...
චොර කරලත් යන්න හිතක් නෑ .තණ්හාව .අලුත් ඇමතිගේ ආරාධනයෙන් දෙයියෝ වඩිමින් සිටී
බලපුවාම ඔක්කොම වෙලා තියෙන්නෙ උන්ගෙ හොඳට, රටේ ජනතාවගේ හොඳට කිසි දෙයක් වෙලා නෑ.
පැනි මුට්ට දදා අසරන මිනිසුන් අමාරුවේ දැමීමේ සාපය. දන්න සෞඛ්‍යක් තියනවද ? දන්න ප්‍රවාහනයක් තියෙනවද? ඇමති සැප විඳිනවා . වැඩේ කරන්න දන්න මිනිස්සුන්යැ . නැවත සල්ලි දීලා අමාත්‍යාංශයට ගන්නවා. රටට හෙන ගැහිලා තියෙන්නේ ඕකයි. හීනෙන් බයවෙලා වගේ ගිහින් කතිර ගහන මී හරක් ඉන්න මේ වගේ රටක් කවදාවත් ගොඩයන්නේ නැහැ
ඔබතුමියත් ,කංචන මහතාත් මැතිවරයට පෙර සිටම ගොඨාභය මහතාගේ සෑම සංවිධාන කටයුතුවලම යෙදෙන හැටි අපිදැක්කා.මැතිවරණයෙන් පසුව ජනාධිපතිතුමාට කියා ඕනෑම සහායක් ගන්න පුළුවන් කියලා අපිව දැනුවත් කලා.අපිත් ඒකට රැවටී ඔබතුමිය කියපු ආකාරයට මැතිවරණයට සහාය දුන්නා.දැන් පේන්නේ ඔබතුමිය ගැන විශ්වාසයක් නැහැ කියල වගේ
ඔබතුමිය ඕක ගැන එච්චර හිතන්න එපා... 69 ලක්ෂේටම වෙලා තියෙන්නෙත් ඔය දේම තමයි. සර්ට කරන්න කියල දේකුත් නෑ .. ඉන්න අය එහාට මෙහාට දානවා මිසක්.
අනේ ඉතින් අප සැමටම දෙවියන්ගේ පිහිට තමයි
තව සති 4කින් මේ සියලු දෙනා දෙවන මාත්‍රාවත් ලබාගෙන අවසන් වෙනවලු? ඒ කතාවෙන්ම තේරෙනව ඔබතුමිය ගේ අවධානයේ තරම. දෙවන මාත්‍රාව අවසන් කරන්න තියා අඩු තරමෙ හැටට වැඩි අයට පළමු මාත්‍රාවවත් නොදීපු කීදෙනක් ඉන්නවද? කොහෙද යන්නෙ මල්ලෙ පොල් තමා.
අකාර්යක්ෂම ඇමතිතුමනි ... ඔබ විදේශ වෛද්‍ය උපාධිධාරීන්ගේ විභාගයේදී උදාසීන ක්‍රියාමාර්ගයක් ගත්තා .... ඔවුන් ඔබට ශාප කළා ....
දැන් කවුද වලේ වැටිලා ඉන්නේ. ඔබතුමියද ? ආණ්ඩුවද ? ජනතාවද ?