IMG-LOGO

අංශභාගයෙන් වැලැකෙන ක්‍රම

ලොව පුරා සිදුවන පුද්ගල මරණවලට මෙන්ම ආබාධිත වීම්වලට ප්‍රධානතම හේතුව වනුයේ මොළයට රුධිරය සපයන රුධිර නාළවල සිදුවන වෙනස් වීම් නිසා ඇතිවන අවහිරතා සේම ඒවා පුපුරා යාම හේතුවෙන් ඇති වන අංශභාගය හෙවත් ආඝාතයයි. අංශභාගයට ගොදුරු වන්නේ කෙසේද, එසේ නොවීමට ක්‍රියා කළ යුතු අයුරු, රෝගයට තුඩු දෙන වැරැදි ආහාර පාන ගැන දැනුම්වත් වෙමු.

සුළුවට හිතන්න එපා

ලෝක ප්‍රජාවගෙන් මිලියන 13.7ක් වාර්ෂිකව ආඝාතයට ගොදුරු වේ. ඉන් මිලියන 5.5ක් මරණයට පත් වන අතර එයින් සියයට 85කම මරණ සිදුවන්නේ අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලබන රටවල් කේන්ද්‍ර කර ගනිමිනි.

අපේ රට ගත්විට සිදුවන පුද්ගල මරණවලට බලපාන සයවැනි හේතුව වන්නේද අංශභාගයයි. එමෙන්ම ආබාධිත වීමට හේතුවන පස්වැනි හේතුවත් ආඝාතයයි.

ගොදුරු වීමට හේතු

සාම්ප්‍රදායික ජීවන රටාවෙන් මිදී අහිතකර ආහාර පාන එනම් ලුණු, සීනි, තෙල් අධික ආහාරවලට යොමු වීම, ව්‍යායාම අඩුබව, මානසික ආතතිය, දුම්පානය මෙන්ම මත්පැන් පානයද මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අවදානම් සාධක අතර වේ.

මේ හේතුවෙන් අධික රුධිර පීඩනය ඇති වීමේ අවදානම වැඩි වන අතර ඒ නිසාම හෘදයාබාධ, අංශභාගය ඇති වීමත් සුලබ වී ඇත. එපමණක් නොව දියවැඩියාව, පිළිකා හට ගැනීමද වැලැක්විය නොහැකි අයුරින් වර්ධනය වී ඇත.

2015 වසරේදී සිදුකළ බෝ නොවන රෝගවලට හේතුවන අවදානම් සාධක හඳුනා ගැනීමේ ජාතික සමීක්ෂණයට අනුව ලංකාවේ අවුරුදු 18ත් 69ත් අතර වයසේ පසුවන්නන්ගෙන් සියයට 25කට අධික පිරිසකට අධික රුධිර පීඩනය ඇති බව සොයා ගන්නා ලදි.

මීට ප්‍රධානම හේතුව ලෙස අප විවිධාකාරයෙන් ආහාරයට ලුණු එකතු කිරීම බව වාර්තා විණි. එනම් තවමත් අපේ රටේ ජනතාවගෙන් අඩක් පමණ බත් පිසින විට බත්වලට ලුණු එකතු කරනු ලැබේ. ඒ වගේම විවිධ සෝස් වර්ග, රසකාරක, කල් තබා ගන්නා ද්‍රව්‍යවලත් ලුණු සාන්ද්‍රණය අධිකය.

නිර්දේශිත ලුණු පරිමාව ඉක්මවා

එක් පුද්ගලයකු සඳහා දිනකට ලුණු නිර්දේශ කොට ඇත්තේ කපාපු තේ හැන්දක් පමණි. ඒත් අපේ රටේ තේ හැඳි 2ක් 3ක් පමණ එනම් ග්‍රෑම් 9ත් 12ත් අතර ලුණු ප්‍රමාණයක් දෛනිකව ආහාරයට ගනු ලැබේ. ඉහත වැරැදි පුරුදු දිගු කලක් පුරාවටම අපේ දෛනික ජීවිතයේදී අත් විඳීමට වීම තුළ නුදුරේදීම පුද්ගලයන් රෝගීන් වීම වැලැක්විය නොහැකිය.

ක්ෂණික ආහාර,රයිස්, කොත්තු, සෝස් වර්ග, පිට්සා, රෝල්ස්, පැටිස්, පේස්ට්‍රි මෙන්ම පාන් පිටි නිෂ්පාදනවලත් ලුණු අඩංගුය.

ළමා වියේ සිට මෙවැනි ආහාර කෑමට පුරුදු වුවහොත් අදික ලුණු නිසා ශරීරයේ ජලය රඳන ප්‍රමාණය වැඩි වේ. එවිට අපේ රුධිර සංසරණ පද්ධතියේ පරිමාව වැඩි වේ. එවිට රුධිර වාහිනී ඝනවීම් මෙන්ම විවිධ වෙනස් වීම්ද සිදු වීමට පටන් ගැනේ.

ශරීරයේ අභ්‍යන්තර පරිසරය සමතුලිතව තබා ගැනීම සඳහා හෘදයට වේගයෙන් නොකඩවා ක්‍රියා කිරීමටද සිදු වේ. ඒ අතර වකුගඩුවලට වැඩි ජලය පිට කිරීමට සිදු වේ. කෙනකු කලාතුරකින් මෙබඳු ආහාරයක් ගත් විට මෙවැනි අන්දමේ බරපතළ හානියක් සිදු නොවුණද නිතිපතා අධික ලුණු අඩංගු ආහාර සාමාන්‍ය ආහාර ලෙස ගැනීමට පුරුදු වුවහොත් ප්‍රතිඵල වඩා දරුණු වේ. කුඩා කල සිටම හෘදයට,රුධිර වාහිනිවලට මෙන්ම අනෙකුත් ඉන්ද්‍රිය පද්ධතිවලට හානි සිදු වීම වැලැක්විය නොහැකියි. එහි ප්‍රතිඵලය වනුයේ බොහෝ අඩු වයසින් ඔබ හෝ ඔබේ දරුවා අධික රුධිර පීඩනයට ගොදුරු වූවකු වීමයි.

අධික රුධිර පීඩනයට ගොදුරු වූ විට හෘදයාබාධ, ආඝාතයට, වකුගඩු අකර්මණ්‍ය වීමටද හේතු වේ. එබැවින් අධික රුධිර පිඩනයට ලක් නොවී සිටීමට සියලු උත්සාහ දැරීම ඔබේ සෞඛ්‍ය රැක ගැනීමට තිබෙන හොඳම මාර්ගයයි. එවිට දියවැඩියාව, පිළිකා ඇති වීමේ අවදානමද අඩු වේ.

අවදානමෙන් මිදීමට කුමක් කළ යුතුද?

සමබල ආහාර වේල් 03ක් දිනකට ගැනීම ජීවිතයේ පුරුද්දක් කර ගනිමු.

උසට සරිලන බර පවත්වා ගනිමු. බර වැඩි ,තරබාරු නොවීම මින් අදහස් කෙරේ.

ලුණු, තෙල්, සීනි භාවිතය හැකිතාක් සීමා කිරීම.

දිනපතා පැය භාගයක්වත් ශරිරයට දැනෙන පරිදි ව්‍යායාම කිරීම. දරුවකු නම් පැයක් දෙකක් දුව පැන සෙල්ලම් කිරීමට ඉඩ දීම.

දුම්පානයෙන් මත් පැන් භාවිතයෙන් වැලකීම.

තරගකාරී මානසිකත්වයෙන් හැකිතාක් ඈත් වීම නැතහොත් මානසික ආතතිය ඇති නොවන පරිදි ජීවිතය සකසා ගැනීම. දරුවන්ද ඒ දෙයට යොමු කරවා ගැනීමට උනන්දු වන්න.

එහෙත් ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙන කෙනකු නම් නිසි අයුරින් ඖෂධ නොගත හොත් ජීවන රටාව වෙනස් කර නොගත හොත් ආඝාතය හෙවත් අංශභාගයට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහළය. එබැවින් අධික රුධිර පීඩනය ඇති බවට වෛද්‍යවරයකු තීරණය කළ හොත් අප ගනු ලබන ක්‍රියා මාර්ග කෙබඳු විය යුතුද යන්න දැන් බලමු.

නිසි ඖෂධ නිවැරැදි වෙලාවට නොවරදවාම ලබා ගන්න.

ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් වුවහොත් එසේ වන්නේ ඖෂධ හා ඔබේ ජීවන රටාවේ සකස් වීම මත බැවින් ඖෂධ නොගෙන සිටීමට කිසි දින උත්සාහ නොකරන්න. සමහර විට ඖෂධ මාත්‍රාව අඩු වැඩි කිරීම වෛද්‍යවරයා විසින් සිදු කරනු ඇත. එහෙත් රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇතැයි සිතා ඔබ ඖෂධ ගැනීම නතර කළ හොත් එහි ප්‍රතිඵලය ආඝාතය වීමට බොහෝ දුරට ඉඩ ඇත. ඖෂධ ගැනීම සේම සැහැල්ලු මනසකින් සිටීමත් එනම් යම්කිසි විදිහකට සිත සැහැල්ලු කරන භාවනාවකට, ව්‍යායාමයකට, සංගීතයකට යොමු වීමටත් ඔබට හැකියි.

ආහාර වේල ලුණු, සීනි, තෙල් අඩුවෙන් සකස් කර ගැනීම.

ඔබ බර වැඩි පුද්ගලයකු නම් තරබාරුවෙන් පීඩා විඳින්නකු නම් ක්‍රමවත්ව බර අඩු කර ගැනීමට සහ වෛද්‍ය උපදේශන සේවාවලට යොමු විය යුතුයි.

වෛද්‍ය උපදෙස් මත ව්‍යයාමයක නිරත වීම.

එහෙත් කිසියම් මොහොතක රුධිර පීඩනය වැඩි වී පහත ලක්ෂණ පෙන්නුම් කළ හොත් මොහොතක්වත් පමා නොවන්න.

ආඝාතය හඳුනා ගත හැකි මූලික සංඥා

කට පැත්තකට යාම.

අතක අප්‍රාණිකත්වය හෙවත් පණ නැති වීම

කතාව ගොත ගැසීම

මේ ලක්ෂණ එකක් හෝ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. පමා වෙන මොහොතක් පාසා ඔබේ ජීවිතය අනතුරට පත්වීමේ ආබාධිත වීමේ අවදානම වේගවත් වේ. එක්වරම සිදුවන ආඝාත තත්ත්වයකදී මොළයේ පටක හා මිලියන ගණනක් වන මොළයේ ස්නායු සෛල විනාශ වීමේ ක්‍රියාවලිය ඇරැඹේ. එහෙත් හැකිතාක් ඉක්මනින් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු වුව හොත් මෙම අනතුර අවම කර ගැනීම හෝ මරණයට පත් වීම වලක්වා ලීමට මෙන්ම ආබාධිත වීම අවම කර ගැනීමට පුළුවනි.

ගතවන මොහොතක් පාසා ඔබ ගෙවන්නේ ජීවිතය රැක ගැනීමට ඇති වටිනාම නිමේෂය බව සිහි තබා ගන්න. ඔබ අවට සිටින්නන්ද ඒ පිළිබඳව දැනුම්වත් කරන්න. එසේම අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන්න.

මතක තබා ගත යුතුම අකුරු හතරක්

F A S T යනු එම අකුරු හතරයි. මුහුණේ හැඩය හෙවත් Face drooping අතක අප්‍රාණිකත්වය Arm weakness , කතාව ගොත ගැසීම Speech difficulties , ක්ෂණිකව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම Time to call for medical helpඑම අකුරු තුළින් නිරූපණය වේ.

ආගාතය වැලැක්වීම සහ වඩාත් හොඳින් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටී.

නොමිලයේ පවත්වන පහත සේවාවන් ගැන ඔබ දැනුම්වත් වී අවට සිටින්නන්ද දැනුම්වත් කරන්න. නිරෝගීව සිටීමට හැකි සෑම උත්සාහයක්ම දරන්න.

සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති පියවර

♦ කුඩා රෝහල්වල ඇති ‘ සුව දිවි මධ්‍යස්ථාන ‘ සතියකට වරක් ක්‍රියාත්මක වේ. ඒවායින් බෝ නොවන රෝග ඇති වීමේ අවදානම කල් තබා හඳුනා ගැනීම සඳහා නොමිලයේ සේවා සපයනු ලැබේ. රුධිරයේ සීනි මට්ටම හා කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය ,රුධිර පීඩනය,උසට සරිලන බර යනාදියත් මෙහිදී ඔබට මැන ගැනීමට පුළුවනි. ඒවගේම රුධිර පීඩනය, බර පාලනය ආදී උපදෙස් ලබා දේ. මේවායින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට උනන්දු වන්න.

♦ සියලු ම ප්‍රධාන රෝහල්වල ඉහළ පුහුණුවක් ලත් සෞඛ්‍ය විශේෂඥයන්ගේ මූලිකත්වයෙන් විශේෂිත ස්නායු රෝග ඒකක පිහිටුවා ඇත. ආඝාත කළමනාකරණය සඳහා දිවයින පුරා විශේෂිත මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුවා ඇති අතර ලංකාවේ ප්‍රධාන රෝහල් 10ක විශේෂිත ආඝාත ඒකක කිහිපයක්ම ස්ථාපනය කොට ඇත.

♦ ජාතික ආඝාත සංගමය, ශ්‍රී ලංකා ස්නායු විශේෂඥයන්ගේ සංගමය සමග ආඝාත රෝගීන්ව දැනුම්වත් කිරීම හා රැක බලා ගැනීම ප්‍රවර්ධනය සඳහා විශාල උත්සාහයක් දරනු ලැබේ.මේ නිසා ආඝාතය හේතුවෙන් රෝහල් ගත වී නිසි ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද අඩු කරගත හැකිවී ඇත. එබැවින් තව තවත් එම සේවාවන් ලබා ගැනීම සඳහා ඔබ උනන්දු වන්න. දැනුම්වත්ව හිඳින්න. රටේ සෞඛ්‍ය පද්ධතියේ කැපවීම ජනතාවගේ ජීවිතය නිරෝගීමත් කරවීමටයි. ඒ සඳහා පුරවැසියකු ලෙස ඔබගේ වගකීම ගැන අදම දැනුම්වත් වන්න. ඒ සඳහා නොපමාව ක්‍රියාත්මක වන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

අංශභාගයෙන් වැලැකෙන ක්‍රම

Lanka Wednesday, 09 November 2022 12:12 PM

ඉතාමත් වැදගත් කාලෝචිත ලිපියක්. දැනුම්වත් කිරීම සම්බන්ධව ස්තූතියි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site