(නිමල කොඩිතුවක්කු)

පවතින ඩීසල් හිගය හේතුවෙන් අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙවර විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක නොවන බව පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කරයි.

අලුත් අවුරුදු වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට(8) සිට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මනක කිරීමට නියමිත්ව තිබුනත් පවතින ඩීසල් හිඟය හේතුවෙන් එම සේවා ක්‍රියාත්මනක නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

දිවයින පුරා පවතින උග්‍ර ඩීසල් හිඟය හේතුවෙන් බස් රථ ධාවනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයිද විජේරත්න මහතා කීවේය.
මේ හේතුවෙන් අද (7) දිනයේ ධාවනය වූයේ සමස්ථ බස්රථ වලින් පහෙන් එකක් හෙවත් බස් රථ 4000 කට අඩු සංඛ්‍යාවක් බවත් ඔහු පැවසීය.

ප්‍රමාණවත් බස් රථ නොමැතිවීමෙන් අද දිනයේත් මගී ජනතාවට මහමග රස්තියාදුවීමට සිදුවූ බවත් ඔහු කීවේය.

බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කළත් ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා මේවන විට ඉන්ධන නොලැබෙන බවත් විජේරත්න මහතා කීවේය.

අන්තර් පළාත් ඇතුළු සියලුම බස් රථ වලට මෙම තත්වය බලපෑ ඇතැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.