(අංජුල මහික වීරරත්න)

ගොවීන්ට සහන සැලසීමක් ලෙස ගොවි ගිණුම්වලට බැර කරන ලද මුදල් වලින් රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ගොවීන් වැරදියට ගිණුම් අංක ලබා දීම නිසා මෙම මුදල් ආපසු පැමිණ තිබේ.

මෙවර මහ කන්නයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ නැවත අය නොකරන මුදලක් වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් 10,000ක් හා හෙක්ටෙයාර් දෙකකට රුපියල් 20,000ක් වශයෙන් රුපියල් බිලියන 8ක් ගොවි පවුල් ලක්ෂ 12ක් අතර බෙදා දීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

මෙම මුදල් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පෙර ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාවලට ලබා දී ඇති තම ගිණුම් අංක නිවැරදි ද යන්න අදාල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් පරීක්ෂා කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාව වෙත දැනුම් දුන්නත් ඇතැම් ගොවීන් එම කටයුතු සිදු කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.