(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජෝර්ජ් කීට් පදනම සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ "19th Century Views of Ceylon" චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ නිල නිවස වන වෙස්ට්මින්ස්ටර් හවුස්හිදී එක් වූවාය.

වෙස්ට්මින්ස්ටර් හවුස්හි මහජනතාව සඳහා පැවැත්වෙන ප්‍රථම කලා ප්‍රදර්ශනය ලෙස මෙම ප්‍රදර්ශනය ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙහි 19 වැනි සියවසේ ශ්‍රී ලංකාව නිරූපණය කරන ලද සුප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පීන් වන එඩ්වඩ් ලියර් (Edward Lear), ඇන්ඩෲ නිකොල් (Andrew Nicholl) සහ කොන්ස්ටන්ස් ගෝර්ඩන් කමිං (Constance Gordon Cumming) ඇතුළු කලාකරුවන්ගේ දුර්ලභ සිතුවම් එකතුවක් ප්‍රදර්ශනය කෙරේ. පෞද්ගලික අන්තර්ගතකිරීම් වැඩි වශයෙන් සමන්විත මෙම කෘති අතරින් බොහෝමයක් ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට එක්කර ඇති අතර, එමගින් 19 වැනි සියවසේ මෙරට භූ දර්ශන, ගෘහ නිර්මාණ ශිල්පය සහ සංස්කෘතික උරුමය විදේශීය කලාකරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් දෘශ්‍යමය ලෙස සටහන් කර ඇත.

ප්‍රදර්ශනය නැරඹූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, සංවිධායකයන් සහ ආරාධිත අමුත්තන් සමඟ සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීමේ වැදගත්කම සහ කලා මාධ්‍යය ඔස්සේ ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගත්තාය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් , ජෝර්ජ් කීට් පදනමේ සභාපති මලක තල්වත්ත , ජෝර්ජ් කීට් පදනමේ නියෝජිතයන්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවගේ සාමාජිකයන්, කලාකරුවන්, සංස්කෘතික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.