( තිළිණි ද සිල්වා )
පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට රජය තීන්දු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අද ( 13 ) පැවසීය.
ඒ සදහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ද හිමිව ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
ඒ අනුව මෙම නිදහස් වීසා කාලය ඉකුත් පෙබරවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉතා අවම මට්ටමක පැවතීම නිසා මෙම නිදහස් වීසා ලබා දීම සිදු කෙරුණේ පසුගිය වසරේ අගෝස්තු 1 වැනි දා සිට මාස 6 ක කාලයක් සදහාය. ඒ අනුව එම කාලය ඉකුත් ජනවාරි 31 වන දිනෙන් අවසන් වූ බවද කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී.
මෙලෙස නිදහස් වීසා දීර්ඝ කෙරුණේ ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළත් රටවල් 48 කටය.
නිදහස් වීසා වැඩසටහන ක්‍රියාක්මක වූ කාලය තුළ මෙම රටවල් 48 න් මෙරටට පැමිණි සංචාරකයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, එම නිසා සංචාරක ක්ෂේත්‍රයේ තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම වෙනුවෙන් මෙලෙස මෙම නිදහස් වීසා ලබා දීමේ වැඩපිළිවෙළ දීර්ඝ කළ බවයි.
COMMENTS
ඔය මොනවා කළත් ඉන්දියානු හොර වෙබ් අඩවිවලින් තවමත් වීසා ගාස්තු අයකරනවා යස අගේට...
කලාපයේ අනිකුත් රටවල් සමග තරඟයක් දෙමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න නම් ඕක මාස 3ක් නොවේ දශක ගණනාවක සිට ක්‍රියාත්මක වුණු පරිදි දිගටම දෙන්න. අප්‍රිකානුවන්ට, අරාබිකරයේ සංචාරකයින්ට නැති වුණත් අපට හොඳ අාදායමක් තිබෙන, යුරෝපා සංගමයේ රටවලට ඕක අනිවාර්යයෙන්ම දෙන්න.