(එම්.කේ.නන්දසේන)

කතරගම දෙස් විදෙස් සංචාරකයින් ගැවසෙන නගරයක් බැවින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත කතරගම සියලු ම විහාරස්ථාන ඇතුළු නාගරික හා ප්‍රදේශවාසී ජනතාවට ඉතා කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නගන්නැයි කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධමිමින්ද නායක හිමියෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරති.
       
තමන් වහන්සේලා බැහැදැකීම සඳහා දෙස් විදෙස් දායක කාරකාදීන් දිනපතා පැමිණෙන අතර, දායකයින්ගේ පිරිත් පිංකම්, බෝධි පුජා, දානමය පිංකම්, අවමංගල්‍යය පාංශු කූල යනාදීයට අනිවාර්යයෙන්ම සහභාගි වීමට සිදුව ඇති බවද හිමියෝ පෙන්වාදෙති.
       
එපමණක් නොව කතරගම  වන්දනාකරුවන්ගෙන් යැපෙන ආර්ථිකයක් ඇති නගරයක් බැවින් දිනපතා විවිධ ප්‍රදේශයන්හි සිට පැමිණෙන පිරිස් සමග ගනුදෙනු කිරීමට සහ ඇසුරු කිරීමට සිදුවන හෙයින් ඉතා කඩිනමින් කොරෝනා වයිරසය නිවාරණ එන්නත කතරගම විහාරස්ථාන ඇතුළු ප්‍රදේශවාසී ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද නායක හිමියෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.