කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගත්තේ යයි කියන සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල තත්ත්වය සම්බන්ධයෙන් මෙරට ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා දැනුවත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.  

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් අද (1) පස්වරුවේ තානාපතිවරයා සහ ඔහුගේ දෙවැනියා මුණ ගැසී එලෙස කරුණු දන්වා තිබේ.

පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය සාක්ෂි ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන්නැයි නිලධාරීන් ඉල්ලා සිටියද තානාපති කාර්යාලය එසේ නොකළ බවත් එම නිසා නොවැම්බර් 29 වැනිදා තානාපති කාර්යාලය පොලිසියට ලබාදුන් තොරතුරු අනුව විමර්ශනයක් සිදු නොකළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙහිදි නිලධාරිනිය වෙනුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් සාක්ෂි හා තොරතුරු සියල්ල ආදියද තානාපති  හැන්ස්පීටර් මොක් මහතාට ඉදිරිපත් කර තිබෙන බවත් අදාළ පැහැර ගැනීම සිදු වූ බව කියන දිනයේ පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනියගේ ගමන් බිමන් යනාදි විස්තර ඒ තොරතුරු අතර පරස්පරතාවක් තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

සිදුවීම ඇසින් දුටුවන් සහ සී.සී.ටීවී දර්ශන, දුරකතන විස්තර යනාදි තාක්ෂණික තොරතුරු සැලකිල්ලට ගැනීමේදී අදාළ පරස්පරතාව පැන නැගී තිබෙන බව ද එහි දැක්වේ.

විමර්ශන කරන නිලධාරීන් ස්විස් තානාපති කාර්යාලයට දුන් ප්‍රතික්ෂේප කළ නොහැකි හා ස්ථීර සාක්ෂි අනුව සහ පැහැර ගැනීමක් යයි කියැවෙන සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා අදාළ නිලධාරිනියගෙන් සාක්ෂි ලබාගත යුතුව තිබෙන බව ද එමෙන්ම තවදුරටත් විමර්ශන කළ යුතුව තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

පැහැර ගැනීමේ සිදුවීමේදී තානාපති කාර්යාලයේ නිලධාරිනියට තුවාල සිදුව ඇතැයි කියන හෙයින් ඇය මෙරට අධිකරණ වෛද්‍ය නිලධාරියකුට ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයක් කළ යුතු යැයි පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධව පළවන තොරතුරු තහවුරු කිරීම සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ඉල්ලා ඇතැයි ද සඳහන් කරයි.

055