(ඩයනා උදයංගනී)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන පළමු පනත කළු සල්ලි සුදු කරන පනතක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ආණ්ඩුව මේ අවස්ථාවේ සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වුවත් ඔවුන් නව පනත ගෙනඑන්නේ බදු වංචා කරන්නන්ට සහනදීමට බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

ආණ්ඩුව තම යාළු මිත්‍රයින්ට සහන සලසා දෙමින් කොවිඩ් බොරදියේ මාළු බෑමට උත්සාහ කරන බව ද ඔහු කීවේය.

භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව ඇත්තක් වුවත් එයට මුවා වී තම ගජ මිත්‍රයන් අයථා මාර්ගවලින් ඉපයූ මුදල්වලට සුජාතභාවයක් ලබාදීම වරදක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම පනත හරහා අයථා මාර්ගවලින් මුදල් ඉපයීම දිරිගන්වන බව කී හඳුන්නෙත්ති මහතා එය ඉතා බරපතළ එකක් බව ද කීවේය.

එබැවින් එම පනත් කෙටුම්පතට විරුද්ධව අධිකරණයට යාමට ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.

හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.