
(නිමල කොඩිතුවක්කු)
දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන සියලුම නීති ලංකාවට නොගැලපෙන බව බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොළඹදී පැවසූහ.
රටේ පවතින සංස්කෘතිය, ආචාරධර්ම සහ ක්‍රමවේදයන්ට ගරු කරමින් මෙම ක්‍රියාවළිය නතර කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.
ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
“දොසක් කිව්වොත් තමන්ට සිත් තැවුලක් සිදුවුනා කියලා චෝදනා කරලා මව්පියන් පොලිසියට අල්ලලා දෙන්න මෙම නව පනත මගින් දරුවන්ට පුළුවන්. මව්පියන්ට මෙහෙමනම් ගුරුවරුන් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මේවා මේ බටහිර රටවල තියෙන සමහර මෝඩ නීති. ඒවා ඔක්කොම අපි අනුකරණය කරන්න අවශ්‍ය නැහැ. අපේ රටේ පිළිවෙතක් තියෙනවා. දරුවෙකුට අම්මයි තාත්තයි තමයි හැදියාව දෙන්න ඕන. ඒ නිසා දරුවෙකුට හරිගස්සන්න අම්මෙකුටයි තාත්තෙකුටයි අවස්ථාව තියෙන්න ඕන. ඒවා උසාවි ගෙනියන වැඩ නෙමේයි.
දරුවන් සහ මාපියන් අතර මේ ගට්ටනය ඇති කිරීම තුළින් මාපියන්ට එහෙම නම් ගුරුවරුන්ට කොහොම තියෙයි ද කියළා ගුරුවරුන්ට හිතන්නවත් බැහැ. පාසල්වල දරුවෝ වැරදි වැඩ කළොත් ගුරුවරයා කියන්න පුළුවන් ළමයා ඔය දිගට කොණ්ඩය වවන්න එපා කපාගෙන එන්න කියලා. එහෙම කිව්වොත් ඒ දරුවාට පුළුවන් පොලීසියට ගිහින් මගේ ගුරුවරයා මට මානසික පීඩාවක් ගෙනාවා කියලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ අනුව ගුරුවරයාව අත්අඩංගුවට ගන්න වුනත් පුළුවන්ලු. මේවා අපිට පිළිගන්න බෑ.
බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැලපෙන්නේ නෑ. අපේ ලංකාවේ තියෙනවා සංස්කෘතියක්, ක්‍රමවේදයක්, ආචාරධර්ම තියෙනවා මේවට අපි ගරු කළ යුතුයි. ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියා සිටිනවා කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා කියලා. දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ තියෙන භක්තිය ලබාදීමේ ප්‍රවණතාවයට බාධා නොකළ යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ ගෝලාකාරයි පිළිගනිල්ලා කියලා ඉස්සර කියපු කෙනෙක්ව ගිනි තියලා මරුවලු. නූතන විද්‍යාව ඔප්පු කරලා තියනවා කායික දඩුවම ළමයින්ට කොච්චර නරක විදියට බලපානවද කියලා. ලංකාවේ මිනිස්සු, මොනවා නොපිළිගත්තත්, නුතන විද්‍යාව පිළිගන්න ඕන. නැත්තන් ලංකාව ලෝකෙන් කොන් වෙනවා ගෝත්‍රික රටක් විදියට...
දරුවන්ට කායිකව මෙන්ම මානසිකව දඩුවම් කිරීම නුසුදුසු බව බටහිර මතයක් නොවෙයි... ඒක විද්‍යාත්මක මතයක්, එය දරුවන්ගේ කායික වර්ධනය මෙන්ම පෞරුෂය වර්ධනයටත් බලපෑම් කරන බව විද්‍යාත්මකව තහවුරු වෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් දරුවන්ට කායික හෝ මානසික දඩුවම් කරන වැඩිහිටියන්ට එසේ කරන්නේ පෙළඹෙන්න, ඔවුන්ගේ තිබෙන මාසික දුබලතාවයක්, පෞරුෂයේ අඩුපාඩුවක් හො කුඩා කළ එවැනි අතවරයන්ට භාජනය වීම නිසා ඇතිවූ කම්පන වැනි හේතුන් නිසා බවත් විද්‍යාත්මක මතයයි. ඒ නිසා එවැනි තත්ත්වයන්ට ඉඩදීම තුලින් අනාගත පරපුරද මානසික දුබලතා ඇති හෝ හීනමානයෙන් පෙලන පරපුරක් වනු ඇත.
සමාවෙන්න මෙහෙම ඇහුවාට. ඔබතුමාගේ ආගමත් බටහිර එකක් නේද? ලමයින්ට නොගහන එක විතරද එතකොට නරක? ඔබතුමාලාගේ ආගම බටහිර රටවලත් බාල්දු වලා තියෙන්න ඒ රටවල කාදිනල් තුමාලත් මෙන්න මේ විදිහට දශක ගාණක් හැසිරුණු නිසා තමයි. දැන් එතුමලා උත්සාහ කරනවා ආයෙත් මොඩ් වෙන්න හැබැයි පරක්කු වැඩියි. ඔබතුමා තව ටිකක් අධ්‍යයනය කරලා බලන්න කතාකරන්න කලින්...
කාටූනයක් කළ හදියක්... කාදිනල්තුමා ගැන ඇන්ද කාටූනය නිසා, දැන් එතුමා හැම එකකටම ප්‍රකාශ නිකුත් කරනවා. ඉස්සර හාමුදුරුවෝ වගේ...
දැන් ඉන්න උන්ට ගහලත් ඔවුන්ගේ හැසිරීම මෙහෙම නම් තව ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි හොඳ සෙල්ලම්. මේවාට කැමැති හැමෝම ගෑනියෙක්, දරුවෙක් නැති අය විතරමයි.