
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
මව විදෙස්ගතවීමෙන් පසු පියා ද අත්හැරයාම නිසා කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ නිවසක තනිව සිටි දියණියන් දෙදෙනාගේ මව නැවත මෙරටට ගෙන්වාදීම කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රට විරුවන් සංවිධානයේ මැදිහත්වීමෙන් ඊයේ (1) සිදුවිය.
ඒ අනුව මෙම දියණියන් දෙදෙනාගේ මව නැවත නිවසට පැමිණි අතර, මව එන බව නොදැන පාසල් ගොස් සිටි දියණියෝ යළි නිවසට පැමිණෙන විට මව නිවසේ සිටිනු දැක සතුට දරාගත නොහැකිව ඇය බදාගනිමින් හඬා වැටෙනු දක්නට ලැබිණි.
මැල්සිරිපුර, බණ්ඩිපොල ප්‍රදේශයේ ගරා වැටුණු නිවසක 14 සහ 7 හැවිරිදි වියේ පසුවන දියණියන් දෙදෙනකු මවත් පියාත් නොමැතිව ඉතා අනාරක්ෂිත සිටින බව මාධ්‍ය මගින් පසුගියදා හෙළිදරව් කෙරිණි.
ඒ දරුවන්ගේ මව වන නිමාලි නිලුෂිකා මහත්මිය මීට මාස 11කට පමණ ඉහතදී කුවේට්හි ගෘහ සේවයට ගොස් ඇති බවත්, දරුවන්ගේ පියා ඇය එවූ මුදල් ද මත්වතුර බී නාස්තිකරමින් දරුවන්ට විවිධ හිරිහැර කරමින් සිට ඇති අතර, පසුව ඔවුන් හැර දමා ගොස් වෙනත් ප්‍රදේශයක ජීවත් වන බවත් වාර්තා විය.
මෙම තොරතුරු හෙළිවීමෙන් පසු දරුවන්ගේ මව පිළිබධව කඩිනම් අවධානය යොමු කල රට විරුවෝ සංවිධානය සහ කුවේට් තානාපති කාර්යාලයේ නියෝජිතයන් මැදිහත්ව එම මව දින 5ක් ඇතුලත මෙරටට එවීමට පියවර ගෙන තිබිණි.
එලෙස මෙරටට පැමිණි නිමාලි නිලුෂිකා මහත්මිය ගුවන් තොටුපලේ සිට බස් රථයක නැගී මැල්සිරිපුර, බණ්ඩිපොල ප්‍රදේශ්යේ තම නිවසට පැමිණියාය.
ඇය එන විට දියණියන් නිවසට ගොඩවෙද්දීම එහි තම මව සිටිනු දැක සතුට දරාගත නොහැකිව හඬා වැටුණු අතර, නිමාලි නිලුෂිකා මහත්මිය පැවසුවේ දියණියන් දෙදෙනා ඔවුන්ගේ පියාට භාරදී විදේශයක රැකියාවට ගියේ නිවස තනා ගැනීම සඳහා බවයි.
කෙසේ වෙතත් සැමියා තමන් එවන් මුදල්වලින් මත්වතුර පානය කරමින් දරුවන්ට විවිධ කරදර හා පහරදීම් කර ඇති බවත්, පසුව දරුවන් නිවසේ දමා වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවත් මාධ්‍යවල පළවීමෙන් පසු තමන්ට දරුවන් අසලට පැමිණීමට හැකිවූ බවත් ඇය සඳහන් කළාය.
සැමියා විශ්වාස කර පළමු වරට තමන් රට රැකියාවකට ගිය බවත්, අවසානයේ දී දරුවන් දෙදෙනා අසරණ වීම නිසා නැවත ලංකාවට පැමිණීමට තමන්ට සිදුවූ බවත් ඇය පැවසුවාය.



COMMENTS
තමන්ගේ විශ්‍රාම ජීවිතය කාලෙදී, තමන් කල මාධ්‍ය මෙහෙවර ගැන සතුටු කඳුලු වගුරවමින් සතුටු වෙන්න මේ සඳහා දායක වූ මාධ්‍යවේදී මිත්‍රයන්ට පුළුවන්...
රට විරුවන් සංවිධානයටත්, කුවේට් තානාපති කාර්යාලයේ ඊට සහාය දැක්වූ සියලු දෙනාටත් අපේ හදපිරි ප්‍රණාමය.... අම්මාවරුනේ, දරුවන් දාලා ගෘහ සේවයට යනකොට දරුවන්ගෙ ආරක්ෂාව, එයාලාට ලැබෙන්න ඕන ආදරය, කරුණාව ගැනත් හිතන්න.
මේ තමයි අපේ රටේ ඛේදවාචකය. අද බොහෝ කාන්තාවන් විදේශ ගත වන්නේ දුප්පත්කම නිසයි. එමෙන්ම, මේ සිද්ධියෙන් හෙළිවන තවත් කරුණක් නම්, අද ගෘහ ජීවිතයේ බර වැඩිපුර දරන්නේ කාන්තාව විසින් බව.
කාංචන කුමාර ආරියදාස මාධ්‍යවේදියකුසේ කරන මේ කර්තව්‍යය ඉතා පැසසුමට ලක්විය යුතුය. බොහෝ අවස්ථාවලදි 'සමාජ ඇස' මාධ්‍යතුලින් පිටරට සිටින අප මෙවැනි දේ දකිනා විට ඒ කරනා සේවය මුදලකට නිමකල නොහැක. සමහර අතිදුෂ්කර ගම්වලට කාංචන ගොස් ඒවා පලකරන විදිය දැක්කහම අදහාගත නොහැක. ඒ ගමටම ගොස් චන්ඳය ලබාගත් උත්තමයා මේවා නොදැකීම අපට ප්‍රහේලිකාවකි..! මාධ්‍යතුලින් මේ තොරතුරු වාර්තා වීමත් සමඟ උදව් උපකාර කල සැමගේ දෑස්වලට මෙය දුටු පසු කඳුළු උණනවා නොඅනුමානය. ඒවා 'කඳුලු කැට' නොවේ.. ඒවා 'මුතු ඇටය'. මෙය පලකරන්නට අවස්ථාවක් ලබාදුන් ලංකාදීප පත්තරේ කර්තෘ තුමන්ටද ස්තුතිය හිමිවිය යුතුය.!
මෙ අම්ම පව් ඇත්තටම. . ඇය ආපහු ආවෙ දරුවන්ට තියෙන ආදරෙ නිසා. .නමුත් අර නැහැදිච්ච පියා..? ඔහු කොහෙද කියලා කවුරුවත් හොයන්නෙ නැද්ද? දරුවන්ව මෙහෙම අනාරක්ශිත කලාට ඔහුට දඬුවමක් දෙන්න බැරිද?
මේ වැනි අම්මලා දරුවෝ කොතෙකුත් වෙත්. නමුත් හෙළිදරුව් වෙන්නේනෙ ටික දෙනයි. ඒ උදාර සේවාව සලසල මාධ්‍යය වේදීන්ට ප්‍රණාමය පුද කරමි. මේක අපෙරටේ තවත් ඛේදවාචයක්. රටකරවන උදවිය මේවාට වගකිවයුතුයි..කොහොම වුණත් මේ දරුපවුලට ගෙයක් හදාගන්න පිහිටක් වුණොත් ලොකු දෙයක්!
නිවසක් නිසා ඇයි අපි තනි කර දැම්මේ... අසරණ අපිව මැරි මැරි ඉපදුන අම්මේ... මාධ්‍ය තමයි අප කඳුලැලි පිස දැම්මේ... රජ සැප මොටද නුඹෙ සෙනෙහස ඇති අම්මේ...
මෙයාලාව සම්බන්ධ කරන්න... පුළුවන් නම් කාට හරි මේ ගේ හදන්න මට පුළුවන්...
අම්මේ දැන් ඉතින් දරුවෝ තනිකර ගිය අයගේ තාත්තා නැවත රිංගන්න බලයි. ඒත් තමුන්ගේ දූදරුවන් හදාගෙන ජීවත් වෙන්න. ඔය වගේ කෙනෙක් අවශ්‍යද? ඔබට තෙරුවන් සරණයි.