(නිමල් ජයරත්න)

පවතින ආර්ථික අහේනිය සහ සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය.

ආහාර හිඟ වීම නිසා තම ගම්මාන 8ක දරුවන් දාහකට අධික සංඛ්‍යාවක් පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර ඇති බවත්, පවතින ආර්ථික තත්වය හමුවේ දරුවන්ට ආහාර සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදීමට නොහැකි තත්ත්වය මත ඇතැම් ආදිවාසී දරුවන් පාසල් නොයන මට්ටමට පත්ව සිටින බවද ලිසීනෝනා මහත්මිය කීවාය.

දිඹුලාගල දලුකාන, පරණ මිල්ලාන, කොළකනවාඩිය, යක්කුරේ, පහල යක්කුරේ, කලුකැලේ, ඇල්ලේවැව, කුඩාවැව, ඇතුළු ආදිවාසි ගම්මාන කිහිපයක දරුවන් එලෙස හාමතේ සිටින අතර මේ සඳහා ජනාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අනෙකුත් වගකීව යුතු ආයතන මැදිහත්ව ඊට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇය ඉල්ලීමක් කළාය.