(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙනු ලැබිණ.

මෙම සංගණනය, ශ්‍රී ලංකාවේ 15වන ජන හා නිවාස සංගණනය වන අතර, ජාතික මට්ටමේ දත්ත රැස්කිරීමක් සඳහා සංගණන ඉතිහාසයේ ප්‍රථමවරට ටැබ්ලට් පරිගණක සහ සුහුරු ජංගම දුරකථන භාවිත කිරීම මෙහි විශේෂත්වයකි.

ඒ අනුව, මෙහිදී ටැබ් පරිගණක යන්ත්‍ර 15,000ක් සහ ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කර දත්ත රැස්කිරීම සිදු කෙරිණි. එමගින් දත්ත රැස් කිරීම වේගවත් කිරීමටත්, දෝෂ අඩු කිරීමත්, ලබා ගත් දත්ත ඍජුව දෙපාර්තමේන්තුවේ සර්වර් පරිගණක වෙත ලබා ගැනීමටත්, අනතුරුව, දත්ත විශ්ලේෂණය සහ වාර්තා සකස් කිරීම කාර්යක්ෂමව සිදු කිරීමටත් හැකි විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් මගින් සිදු කරන ලද විශාලතම සහ සංකීර්ණතම දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය වන මෙම ජාතික සංගණනය, සංගණන ආඥාපනත යටතේ සිදු කර ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මඟපෙන්වීමෙන් දිස්ත්‍රික් පරිපාලනයේ මෙහෙයවීම යටතේ, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල සිසුන්, වෙනත් උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නන් ඇතුළු සංගණනයේ තොරතුරු රැස්කිරීම සඳහා විශේෂයෙන් පුහුණුව ලබා දුන් පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් මෙම ජාතික කාර්යය සඳහා සහභාගී වූහ. මෙම සංගණනයේ 'සංගණන මොහොත' ලෙස 2024 දෙසැම්බර් මස 19වන දිනයේ ආරම්භ වන අවස්ථාව (එනම් පැය 00:00) සලකන ලදී.