(ආරියරත්න රණබාහු)

ගල්කිස්ස මහ හෝටලයේ ඊයේ (12) රාත්‍රී පැවැති  2022 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා  සම්මාන උළලේදී ලංකාදීප පුවත්පතට විශිෂ්ටතා සම්මාන තුනක් සහ එක් කුසලතා සම්මානයක් හිමි විය.

වසරේ හොඳම පිටු නිර්මාණකරණයට හිමි විශිෂ්ටතා සම්මානය ද ලංකාදීප පුවත්පත විසින් දිනා ගනු ලැබීය.

වසරේ හොඳම ප්‍රවෘත්ති/නිර්මාණය කළ වෙබ් අඩවියට හිමි විශිෂ්ටතා සම්මානය lankadeepa.lk වෙබ් අඩවියට  හිමි වූ අතර   වසරේ හොඳම සෞඛ්‍ය රැකවරණය හා වෛද්‍ය තොරතුරු වාර්තාකරණයට හිමි සම්මානය ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදිනි මාධවී ධර්මරත්න මහත්මිය විසින් දිනා ගනු ලැබීය.

වසරේ හොඳම පරිසර වාර්තාකරණයට හිමි කුසලතා සම්මානය ඉරිදා ලංකාදිපය වෙනුවෙන් ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතාට හිමි විය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සංවිධායකත්වයෙන් 24 වැනි වතාවට මෙම සම්මාන උත්සවය පැවැත්විණි.

24 වන ජනමාධ්‍ය සම්මාන උළෙලේ ගල්කිස්ස හෝටලයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ‘ලංකාදීප’ වෙබ් අඩවියට හිමි වූ අතර, ඩයලොග් ආසියාටා ආයතනයේ උප සභාපති හර්ෂ සමරනායක මහතා අතින් ‘ලංකාදීප’ ඩිජිටල් මාධ්‍ය ප්‍රධානි ලංකා ප්‍රදීප් සහ මෘදුකාංග ඉංජිනේරු හා වෙබ් අඩවි ප්‍රකාශන කළමනාකාර ඉෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන් එම සම්මානය ලබාගත් අයුරු. දීප්ත විජේසේකර මහතා ද මෙහි වෙයි.

 

වසරේ හොඳම සෞඛ්‍ය රැකවරණ සහ වෛද්‍ය තොරතුරු වාර්තාකරණය සඳහා වූ සම්මානය ‘ලංකාදීප’ කර්තෘ මණ්ඩලයේ මාධවී ධර්මරත්න මහත්මියට හිමි වූ අතර, දේශය කර්තෘ රන්ජිත් ආනන්ද ජයසිංහ මහතා ඇයට එම සම්මානය පිරිනැමූ අයුරු

 

වසරේ හොඳම පුවත්පත් නිර්මාණ සැලසුම් සඳහා වූ සම්මානය ‘ලංකාදීප’ පුවත්පතට හිමි විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ඩී. සිල්වා මහතා අතින් තුසිත නෙළුම්දෙණිය සහ තුෂාර සම්පත් යන මහත්වරුන් එම සම්මානය ලබාගත් අයුරු