
(ෂේන් සෙනවිරත්න)
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුන් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ මුහුණ යොදා ගනිමින් එම ඡායාරූප නිර්මාණය කොට ඔවුන් අතර බෙදා ගනිමින් සිටියදී එම ගුරුවරියට සිද්ධිය අනාවරණය වීමෙන් පසු මහනුවර පොලිසියට පැමිණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබේ.
එම පැමිණිල්ලට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ පාසලට ගොස් එම සිසුන් භාවිතා කළ බව කියන ලැප්ටොප් පරිගණකයක් ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කොට ඇති බව ඉහළ පොලිස් නිලධාරියෙකු පැවසීය.
මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක පලීපාන මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
ඔය වැඩේ මහා විසාල වැඩක් නෙවෙයි, එක ක්ලික් එකෙන් ඕක කරන්න පුළුවන්, දැනටත් ප්‍රසිද්ධ චරිතවල ඔහොම වෙනස් කල ඡායාරූප අනන්තවත් තිබෙනවා. කොල්ලන් කොලු කම නිසා ඔහොම දේවල් කරන්නේ තරවටුවක් කලාම ඇති වෙයි. කොහොමත් කෘතීම බුද්ධිය නිසා ලෝකය වෙනස් වේගෙන යන්න පටන් ගත්තා විතරයි, ඉතින් ටික කාලෙකින් රැල්ල බැහැලා සාමාන්‍ය වුනහම ඔය වැඩ නවතීවි, මොකද එහි අරුමයක් තව දුරටත් දැනෙන්නේ නැති නිඅසා. ගුරුතුමිය මේ ගැන කම්පා වෙන්න ඕන නැහැ, කොල්ලන්ට ටිකක් බැනලා තරවටු කරලා මේක අමතක කරලා දාන්න. උන් තේරුම් ගනීවි කල වැරැද්ද ගැන.
ගුරුතුමිය කියන්නෙ මවක් වගේ ගරු කළ යුතු චරිතයක්. වර්ථමාන ළමයිගේ පිරිහීමයි මේ. තාක්ෂණය ට සමපාතව මිනිසාගේ බුද්ධිය සහ ගුණධර්ම වර්ධනය නොවුනහොත් තාක්ෂණය විසින් මිනිසා විනාශ කර දමන වග විද්වතුන් පවසා ඇත.
කෘත්‍රිම බුද්ධියත් දැං අහස වගේ. වැස්සත් බැණුම්, පෑව්වත් බැණුම්.