IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ගල් කොරිවලින් රජයට කෝටියක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ගල් කොරි වලින් රාජ්‍ය භාගය නිසි පරිදි අයකර නොගැනීම හේතුවෙන්  රුපියල් කෝටියකට වැඩි  ආදායමක් රජයට අහිමිව  ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව)  තොරතුරු අනාවරණය විය.

ගල් කොරි සඳහා නිකුත් කරන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය අනුව රාජ්‍ය භාගය ගණනය කිරීම කොතරම් සාධාරණ දැයි කමිටුව මෙහිදී ප්‍රශ්න කළේය.

ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු පිළිබඳවත් තිරිවානා සහ පළිඟු අපනයනයට අදාළ අක්‍රමිකතා පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

මන්නාරම් දූපතෙහි ඛනිජ වැලි ගවේෂණය සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ සමාගම් 5ක් වෙත බලපත්‍ර 9ක් නිකුත් කර තිබුණද වසර 10-13ක් මුළුල්ලේ එම සමාගම් ඛනිජ වැලි ප්‍රදේශ සොයා ගෙන නොතිබීම පිළිබඳව කාරක සභාවේ  අවධානය යොමුවිය

මේ තොරතුරු අනාවරණය වූයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන්  පාර්ලිමේන්තුවේදී  ඉකුත්  12 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

හලාවත වැවිලි සමාගමට අයත් පුත්තලම  මුක්කුතොඩුවාව වතුයායේ වැලි ඉවත් කිරීම සඳහා පෞද්ගලික සමාගමකට   බදු දී කාර්යාංශය 2023 වසරේ දෙසැම්බර් සිට 2024 සැප්තැම්බර් දක්වා කැණීම් බලපත්‍ර නිකුත් කර ඇති බවත් කොන්ත්‍රාත්කරු වැලි කියුබ් 36531 සිට 45561ක පරාසයක වැලි තොගයක් ඉවත් කළද රාජ්‍ය භාගය ගෙවා ඇත්තේ වැලි කියුබ් 1594ක් සඳහා රුපියල් . 686,464 ක් පමණක් බවත් මෙහිදී විගණකාධිපතිවරයා  පෙන්වා දුන්නේය. ජී.එස්.එම්.බී ටෙක්නිකල් සර්විසර් (පුද්) සමාගම විසින් 2024 දෙසැම්බර් 19 දින නිකුත් කරන ලද වැලි පරිමාව ඇස්තමේන්තු ගත කිරීමේ වාර්තාව ප්‍රකාරව මෙම කරුණු අනාවරණය වී ඇත.  ඒ අනුව රුපියල් කෝටියකට වැඩි රාජ්‍ය භාගයක් අහිමිවී ඇති බවත් මෙහිදී කාරක සභාව  පෙන්වා  දී අැත

එසේම කලු කල් කැඩීමේදී ගල් කොරි සඳහා රාජ්‍ය භාගය අයකිරීම එම ගල් කොරියට නිකුත් කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය මත පදනම්ව කිරීම පිළිබඳවත් සාකච්ඡා විය. අනීතික ලෙස යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සත්‍ය කලුගල් ප්‍රමාණය ගණනය කිරීමට මෙමගින් නොහැකි වන බවත් ඒ හරහා විශාල ආදායමක් රජයට අහිමිවන බවත් කාරක සභාව පෙන්වා දුන්නේය. මෙරට විවිධ ප්‍රදේශවල පවතින කලුගල් කොරි මගින් අතිවිශාල වශයෙන් කලුගල් කැඩීම  සිදුවුවද සත්‍ය වශයෙන්ම  රජයට හිමි වන්නේ සුළු අදායමක් පමණක් බව මෙහිදී කාරක සභා මන්ත්‍රීවරු නිදසුන් සහිතව පෙන්වා දුන්හ.

මේ අනුව කැණීම් බලපත්‍ර නිකුත් කිරීමෙන් නොනැවතී වඩාත් ශක්තිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කළ යුතු හෙයින්  පවතින  නීතිමය අඩුපාඩු මගහරවා ගැනීම සඳහා පනත සංශෝධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස කාරක සභාව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ට නිර්දේශ කළේය.

ඛනිජ සම්පත් කැනීමට පෙර සිදු කරනු ලබන  ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණයේ පවතින බලවත් අඩුලුහුඩුකම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.  දැනට පවතින ක්‍රමවේදය යටතේ ගවේෂණ බලපත්‍ර ලබා ගන්නා බොහෝ ආයතන එම බලපත්‍ර වෙනත් පුද්ගලයන්ට වැඩි මිලට අලෙවි කිරීමක් සිදුවන බවත් සැබෑ ලෙසම ගවේෂණ කටයුතු සිදුකර කැනීම් කටයුතු සිදු නොකරන බවත් මෙහිදී අනාවරණය විය. එසේම ගවේෂණයෙන් අනතුරුව එම දත්ත කාර්යාංශයට ඉදිරිපත් කිරීම සිදුවුවද එහි නිරවද්‍යතාව පිළිබඳ බලවත් ගැටලුවක් පවතින බවත් මෙහිදී සාකච්ඡා විය. 1993 වසරේ සිට කාර්යාංශය ගවේෂණ බලපත්‍ර 450කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් දැනට සක්‍රීය තත්ත්වයේ ඇත්තේ ඉන් 43 ක් බවත් මෙහිදී අනාවරණය විය.

මේ අනුව පවතින ක්‍රමවේදය මගින් නිසි විද්‍යාත්මක ගවේෂණ ක්‍රියාවලියක් විනිවිදබවකින් යුතුව සිදු නොවන බවත් මෙරට ඛනිජ සම්පත්  ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමෙන් අනතුරුව එම කටයුතු මනා ලෙස කාර්යාංශය විසින් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් නොමැති බවත් මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව පැලැස්තර විසදුම් වෙනුවට මෙරට සංවර්ධනයට තිරසාර ලෙස වැදගත් නව යාන්ත්‍රණයක් හා උපායමාර්ගික සැලැස්මක් සකස් කළ යුතු බවත් පෙන්වා දෙන ලදී.

මන්නාරම් දූපතෙහි ඛනිජ වැලි ගවේෂණය සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ සමාගම් 5ක් වෙත බලපත්‍ර 9ක් නිකුත් කර තිබුණද වසර 10-13ක් මුළුල්ලේ එම සමාගම් ඛනිජ වැලි ප්‍රදේශ සොයා ගෙන නොතිබීම පිළිබඳව කාරක සභාව විසින් අවධානය යොමු කරන ලදී. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ මෙම සමාගම් 5ම ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි එක් සමාගමක පරිපාලිත සමාගම් බවත් අනාවරණය විය.  මෙසේ ගවේෂණ බලපත්‍ර  ලබාගන්නා බලපත්‍රලාභීන් අදාළ ප්‍රදේශ කිසිදු ගවේෂණකින් තොරව දීර්ඝ කාලයක් මුළුල්ලේ වෙන් කරගෙන තිබීම හේතුවෙන් ඛනිජ ගවේෂණය කිරීමට අපේක්ෂා කරන අනෙකුත් දේශීය හා විදේශීය ආයෝජකයන්ට අවස්ථාව සීමිත වන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මේ හේතුවෙන් වර්ග කි.මි 195ක් ප්‍රමාණයක් සිරවී ඇති බවත් එය රටේ සංවර්ධනයට බාධාවක් බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.

පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත ප්‍රකාරව කැනීම්වලින් අනතුරුව කැනීම් භූමි පුනරුත්තාපනය කරවීමට‍ කටයුතු කළ යුතු වුවද 2025 අගෝස්තු 11 වන විට බලපත්‍ර 3150 කට අදාළව පුනරුත්තාපන කටයුතු සිදුකර ගැනීමට කාර්යාංශය කටයුතු කර නොතිබීම පිළිබඳව ද අවධානය යොමු විය. මෙහිදී සාකච්ඡා වූයේ කැනීම් බලපත්‍රය ලබා ගැනීමේදී පුනරුත්තාපනය සඳහා බැඳුම්කරයක් (ඇපකරයක්) ලබා ගත්ත  ද පුනරුත්තාපනය සිදු කිරීම වෙනුවට  එම මුදල අතහැර දැමීම ලාභදායි ලෙස කැනීම්කරුවන් සළකන බව පෙනී යන බවයි. කෙසේ වෙතත් පුනරුත්තාපනය සිදු නොකළ කැනීම් බලපත්‍රලාභීන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ. 

තිරිවානා අපනයනය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. තිරිවානා සමග පළිගු (Clear Quartz) නිීති විරෝධි ලෙස අපනයනය කිරීමේ ජාවාරම් සිදුවන බවත් ඒ සඳහා කාර්යාංශයේ අභ්‍යන්තරයේ ඇතැමුන්ගේ සහය හිමිවන බව පෙනී යන බවත් මෙහිදී සාකච්ඡා විය. පළිගු අපනයනය සිදු කිරීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරය යටතට ලබා දී අනෙකුත් තිරිවානා නීත්‍යනුකූල ලෙස අපනයනය කිරීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පසුගිය ඉතිහාසය තුළ  පනතේ නෛතික ප්‍රතිපාදන අනුව නිසි සැලැස්මකට කටයුතු නොකළ ආයතනයක් බව  විමර්ශනවලින්  පැහැදිළිව පෙනීයන බව කාරක සභාව පෙන්වා දුන්නේය. දැනට වඩා විශාල ආදායමක් ඉපයිය හැකි දැවැන්ත ජාතික කාර්යක් ඉටු කළ හැකි ආයතනයක් ලෙස මෙම ආයතනය නිසි දැක්මක් සහිතව විධිමත් සැලැස්මකට අනුව කටයුතු කිරිමේ අවශ්‍යතාවයද මෙහිදී කාරක සභාව  අවධාරණය කළේය

ඒ අනුව ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කෝප් කමිටුව  නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත් කාරක සභා සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, මුජිබුර් රහුමාන්, චමින්ද වි‍ජේසිරි, දිලිත් ජයවීර, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන සහ  චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරු ද පරිසර අමාත්‍යාංශයේ ලේකම් රෝහිත උඩුවාවල,  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.



අදහස් (0)

ගල් කොරිවලින් රජයට කෝටියක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31088 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13229 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 39 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 878 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site